දුව බලන්න ආ මනාලයා ඇගේ අම්මටත් බැල්ම දාලා


මෙය දැනගන්නට ලැබෙන්නේ ඇතුගල්පුරවරයේ පිටිසර ගම්මානයකිනි. තරමක පොහොසත්  පවුලක එකම දියණියක් සිටින අඹුසැමි යුවළකි. සැමියා විශ්‍රාමික  රජයේ නිලධාරියෙකි. බිරිඳ ගෘහණියකි. වයසට වඩා රූමත්ව ඇය දියණියට වඩා මනා රූසපුවකින් යුතු වූවාය. මේ මව ගනුදෙනුකරන පෞද්ගලික බැංකුවකි. එහි සිටින කඩවසම් ලිපිකරු මහතෙක් නිතර යන එන ඇය සමග මිතුරු වූයේය. සිතුවේ ඇය රූමත් නිසා අවිවාහක කාන්තාවක විය හැකි බවය. වයසද නොපෙනෙන නිසා ඔහුගේ සිත බැඳුණි.

මොනව කරන්නද සර්? මම බැඳලනෙ. බඳින වයසෙ දුවක් මට ඉන්නව මහත්තයත් පෙන්සන්. අපේ යාලුකම රාජකාරියට විතරක් තියාගමු. ඇයගේ ඔවදන් පිළිගත් ලිපිකරු මහතා නිහඬ වුණේය.

දියණියට  ප්‍රදේශයේ පාසලක ගුරු පත්වීමක් ද ලැබුණි. දැන් ඉතින් දුවට වයසත් රැකියාවත් හරිනිසා මව්පියන් කල්පනා කළේ ඇය විවාහ කරදීමය.

මනමාලයකු සෙවීම  සඳහා මඟුල් කපුවන් ද කීප දෙනෙකුටම පැවසූ අතර එක් කපු මහතෙක් වයසට ගැලපෙන රජයේ රැකියාවක් කරන උගත් ලිපිකරු මහතෙකු කතා කළේය.

දෙපාර්ශ්වයම යෝජනාවට කැමති වී මනමාලිය බැලීමේ දිනයක්ද නියම වුණි. මනමාලියගේ ගේ දොර පිළිවෙළකට කෑම මේසය ද හොඳට සුදානම් කොට මනමාලිය ද හොඳට හැඩ වැඩ වුණාය. මනමාලියා මවුපියන් සහ සහෝදරයකු ද සමග පැමිණියේ කපුමහතා පෙරටුකොට ගෙනය. පිරිස වාහනයෙන් බැස නිවෙසට ගොඩවෙන විටම මනමාලයගේ සහ මනමාලියගේ මවගේ ඇස් උඩ ඉන්ද විණි. දෙදෙනාම ගල් ගැසුණි. මනමාලියගේ හෙප්පුව පිළිගෙන සංග්‍රහය ද භුක්ති විඳ පිරිස ආපසු හැරුණි. ‘‘දුවේ උඹට ඔය මඟුල හරියන්නෙ නෑ  බං. මම දන්නව ඔය මිනිහා ගැන දික්කසාද වුණ මිනිහෙක්ද කොහෙද?’’ ඇයගේ කීම පිළිගත් පියා සහ දියණිය පළමුව ගෙනා විවාහ මඟුලට සමුදුන්හ.

මනමාල මහතා ද තමාට සිදු වූ අකරතැබ්බය බැංකුව පුරා පැතිර ගිය අතර මනමාලිය හඳුනන ලිපිකාරිනියකගේ කනට ද මේ සිද්ධිය වැටුණි. දිනක මේ ලිපිකාර නෝනා මහමග යන අතර ගුරු මෙනවිය මුණ ගැසුණි. දුක  සැප ගමන බිමන ගැන පළමුව කතා කොට මඟුල් හුටපටය විස්තර ඇතිව ලිපිකරු නෝනා පවසන්නට වූයේ ගුරු මෙනවිය විශ්මයට පත් කරවමිනි.

නිවෙසට ගිය ගුරුතුමිය මවට දොස් පවසන්නට වූයේ ගිනිපුපුරු විසිවන අයුරිනි. සිද්ධිය ඇසූ පියා ද ඇයට හොඳහැටි දොස් නැගුවේය.

නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි