සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද


මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගනිමින් ගුජ්රාත් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව වෛභව් සූර්යවංශි ශතකය රැස්කර ගන්නේ පන්දු 35කින්. 

වෛභව් ගේ ක්‍රිකට් මූලාරම්භය ඉතා දුෂ්කර එකක්. වෛභව් බිහාර්‘හි සමස්තිපූර් දිස්ත්‍රික්කයේ ටජ්පූර් නම් ගම්මානයේ උපන්නෙක්. සමස්තිපූර්‘හි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් සීමිත වූ නිසා, වෛභව් ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශි සමඟ සෑම දිනකම පාහේ පැට්නා වෙත කිලෝමීටර් 90 කට ආසන්න දුරක් ක්‍රිකට් වෙනුවෙන් ගමන් කළ බව කියැවෙනවා.

“මගේඅම්මා දවසකට පැය තුනයි නිදාගත්තේ. අම්මා පාන්දර 2ට අවදි වෙලා, මට කෑම හදලා දුන්නා. තාත්තා එයා කරපු රැකියාවෙන් අයින් වුණා, මගේ අයියා ඒ රැකියාව භාරගත්තා. අපිට තිබුණේ සීමිත ආදායම් මාර්ග, නමුත් තාත්තා මට සාර්ථක වෙන්න උදව් කළා. අද ඔබ දකින ප්‍රතිඵල කුමක් වුවත්, මගේ සාර්ථකත්වයට හේතුව මගේ දෙමව්පියන්.”‍ ජායිපූර් නුවර දී කළ ශතක වික්‍රමයෙන් පසු වෛභව් පැවසුවා.

2023-24 රංජි කුසලාන තරගාවලිය සඳහා බිහාර් කණ්ඩායම වෙනුවෙන් පළමුපෙළ තරග වරම් දිනාගන්නා විට වෛභව් ගේ වයස අවුරුදු 12 දින 284ක්. පසු ගිය වසරේ දී ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 58 කදී ශතකයක් ලබද්දී ඔහුගේ වසය අවුරුදු 13 යි. 

මොහොමඞ් සිරාජ්, ඉෂාන්ත් ෂර්මා, රෂීඞ් ඛාන්, වොෂින්ටන් සුන්දර් සහ ආර්. සායි කිෂෝර් යන ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ඇති පන්දු බළඇණියකට වෛභව් එල්ල කළ දැඩි ප්‍රහාරය, ඉන්දියාවෙන් ජාත්‍යන්තර මට්ටමට පැමිණෙන යොවුන් ක්‍රීඩකයින්ගේ ගුණාත්මකභාවය ගැන මනා ඉඟියක් ලබා දෙනවා.

වෛභව් ගේ ප්‍රහාරය හමුවේ ඔහුට මේ වෙනවිට “බේබි බොස්” යන නම පටබැඳී තිබෙනවා. ඒ “යුනිවර්සල් බොස්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රිස් ගේල් මෙන්, අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් ඔහු දියත් කරන නිසයි. එහෙත් වෛභව් ගේ පන්දුවට පහරදීමේ ඉරියව්ව, බොහෝ සෙයින් හිටපු කොදෙව් වීරයෙකු වෙන බ්‍රයන් ලාරාට සමාන බවයි විචාරක මතය. 

වෛභව් මෙන් අඩු වයසින් ක්‍රිකට් ක්‍රීඩාවේ උසස් දස්කම් දැක්වූ අනිත් ඉන්දියානුවා සචින් තෙන්දුල්කාර්. වෛභව් ගේ මව්පියන් මෙන් සචින් ගේ සෙවනැල්ල ලෙස සිටියේ ඔහු ගේ වැඩිමහල් සහෝදරයා අජිත් තෙන්දුල්කාර්.

ඉතා කුඩා අවධියේ සිටම බොම්බායේ සාහිත්‍ය සහවාස් පුර නිවාස සංකීර්ණයක, සිය වැඩිමහල් සහෝදරයින් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ සචින්, නිසි ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හඳුනාගන්නේ, රාමකාන්ත් අච්‍රේකාර් නම් බොම්බායේ සුප්‍රකට ක්‍රිකට් පුහුණුකරුවා වෙත සිය වැඩිමහල් සහෝදරයා රැගෙන යෑමත් සමඟ.

සචින්ගේ මූලික අරමුණ වූ ක්‍රිකට් වෙත මානසික ඒකාග්‍රතාව රඳවා ගන්නට, ඔහුගේ වැඩිමහල් සහෝදරයා අජිත් ගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. කුඩා සචින්ගේ මනස වෙනත් අරමුණු කරා විතැන් වෙන්නට අජිත් කිසිම විටෙක ඉඩ ලබා දුන්නේ නැහැ.ඉන්දියාවේ  පාසල් අතරේ පැවැත්වෙන ගිල්ස් කුසලානයේ එක්තරා තරගයක් වෙනුවෙන්, තරමක වැඩිහිටි ක්‍රීඩකයෙකු සමග පිටියට පිවිසි අවුරුදු එකොළහක් පමණ වූ කුඩා දරුවෙකු, ඉතාම විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තා.

අර්ජුන රණතුංග සහ සචින් තෙන්ඩුල්කාර් තරුණ වියේදී

එදා තරගය විනිශ්චය කළේ ගොන්ධලිකාර් නම් ඉන්දියාවේ ප්‍රවීණ විනිසුරුවරයෙක්. තරගය නිමා වූ වහාම, ඒ ගොන්ධලිකාර් විනිසුරුවරයා ඉහත කී කුඩා දරුවා නියෝජනය කළ පාසලේ පුහුණුකරුවා සොයා ගියා.

“මිස්ටර් අච්‍රේකාර්, කවුද අර ඔහේගේ ටීම් එකේ ඉන්න පුංචි කොලු‍ගැටයා. ඒ දරුවා නම් තව අවුරුදු පහක් යන්න කලින් ඉන්දියන් ටීම් එකට ගහනවා. ඒක මට හොඳටම විශ්වාසයි”

ගොන්ධලිකාර් විනිසුරුවරයා පැවසුවා.

“සර්, ඔය දරුවා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේත් මේ අවුරුද්දේ. තාම වයස අවුරුදු එකොළහයි. කොහොමද  සර් එහෙම කියන්නේ” පාසල් කණ්ඩායමේ පුහුණුකරු රාමකාන්ත් අච්‍රේකාර්, සිනාමුසු මුහුණින්ම විනිසුරුතුමාට පිළිතුරු දුන්නා.

“මිස්ටර් අච්‍රේකාර්, මම මේ මගේ අත්දැකීමෙන් කියන්නේ. ඔය දරුවාගෙන් දකින්නෙ අවුරුදු එකොළහක ළමයෙකුගෙන් දකින පරිණත බවක් හෝ පහරවල් නෙවෙයි. මේ දරුවා නිසි ආකාරයෙන් බලා ගත්තොත් අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු පහ හෝ හය ඇතුළත ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා” ගොන්ධලිකාර් විනිසුරුවරයා අවසානයේ තිර ලෙසම පැවසුවා.

ගොන්ධලිකාර් විනිසුරුවරයාගේ අනාවැකිය ඉන් අවුරුදු කිහිපයකට පසු සැබෑ වුණා. අවාසනාවකට මෙන්, අවුරුදු පහකට පෙර තමන් පළ කළ අනාවැකිය සැබෑවක් වෙනු දකින්නට ගොන්ධලිකාර් විනිසුරුවරයා ඒ වෙන විට ජීවතුන් අතර සිටියේ නැහැ.ඒ සචින් තෙන්දුල්කාර් නම් කුඩා දරුවා ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කරාවි යැයි විවරණ ලද පළමු අවස්ථාවයි.

1989 නොවැම්බරයේ දිල්ලි කණ්ඩායම සහ සමස්ත ඉන්දීය කණ්ඩායම අතර ඉරානි කුසලාන තරගය ඇරඹුණේ බොම්බාය (මුම්බායි) නගරයේ දී.මෙම තරගයේ දෙවැනි ඉනිමේ, සමස්ත ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එක්තරා පිතිකරුවෙකු ශතක මායිමට කිට්ටු වෙමින් සිටියා

මෙම ශතකය එසේ මෙසේ ශතකයක් නෙවෙයි. ශතක  සීමාවෙන් ඔබ්බට පැනගන්නට මෙම දහසය හැවිරිදි තරුණායාට හැකියාවක් ලැබුණහොත් ඉන්දීය ක්‍රිකට් වංශකතාවේම අනගි වාර්තාවක් ඔහුගේ නම ඉදිරියෙන් ලියවෙනවා.

ඔහුට පරහකට තිබුණේ අනිත් අන්තයේ පිතිකරුවන් කඩුල්ලට ආ විගසින් නැවත ක්‍රීඩාගාරයට හැරී යෑම.එදා සමස්ත ඉන්දීය කණ්ඩායමේ නවවැනි කඩුල්ල ලෙස වෙන්කතපති රාජු දැවී යන අවස්ථාවේදී, මේ තරුණ පිතිකරුවා එක් අන්‍තයක නොදැවී ලකුණු 89ක් රැස් කරගෙන.

පංජාබය නියෝජනය කරමින් පැමිණි සමස්ත ඉන්දීය කණ්ඩායමේ ගුරුෂරන් සිං, අතේ ආබාධයකට ලක්ව සිටි බැවින් පිතිකරණයට නොපැමිණෙන බව කණ්ඩායම් දෙකේම සාමාජිකයෝ දැනගෙන හිටියා. සියල්ල අවසානයි. කරබා ගත් තරුණ පිතිකරුවා කනගාටුවෙන් ක්‍රීඩාගාරයට යන්නට සැරසුණා.

එකවරම ප්‍රේක්ෂකාගාර දෙවනත් වෙන්නට ඝෝෂාවක්වක් නැගුණා. 

ගුරුෂරන් සිං, තුවාල ලැබූ අතට අත් ආවරණයක් හෝ නොමැතිව පිටියට පිවිසෙමින් සිටියා. තරුණ ක්‍රීඩකයා හැඟීම්බරව පන්දුවට පහර දුන්නා. කෙසේ හෝ ශතකය රැස් කරගත යුතුයි තිර අදිටන ඔහුට තිබුණා. ලකුණු අනූ නවයේදී දර්ශනීය හතරේ පහරක් සමගින් ශතක සීමාවෙන් ඔබ්බට පැන ගන්නට ඔහුට හැකිවුණා.

”‍ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ක්‍රිකට් තරගාවලි තුනේ, එනම් රංජි, දුලීප් සහ ඉරානි කුසලාන තුනේම තමා ක්‍රීඩා කළ මුල්ම තරගවලදී ශතක වාර්තා කරගත් මුල්ම ක්‍රීඩකයා සචින් තෙන්දුල්කාර්”‍ පසුදා ඉන්දියානු පුවත්පත්වල පිටු පිරෙන්නට ලොකු අකුරෙන් මුද්‍රණය වී තිබුණා.

මෙලෙස අඩු වයසෙන් ඉන්දියානු ක්‍රිකට් පිටියේ හරඹ කළ සචින් තෙන්ඩුල්කාර් නම් ඒ කොලු‍ ගැටයා එක්දින තරගවල, ටෙස්ට් තරගවල වැඩිම ලකුණු සහ වැඩිම ශතක වාර්තා ඇතුළු පිතිකරණ වාර්තා සියල්ලම පාහේ තමා සතු කරගත්තා. 

ඉන්දියානු කතාන්දරය මෙසේ වෙද්දී, ශ්‍රී ලාංකික අපටත් සාඩම්බර කතාවක් තිබෙනවා.1978 වසරේ කොළඹ ආනන්ද විදුහලත් මීගමුව ශාන්ත මරියා විදුහලත් අතර වයස 15න් පහළ කාණ්ඩයේ තරගයක් මීගමුවේ දී පැවැත්වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ආනන්ද කණ්ඩායමේ නායකයා මුලින්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කරගන්නට තීරණය කළා. එලෙස පිටියට බට ආනන්ද කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවැන්ත ලකුණු 289ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේ පිතිකරුවන් දෙදෙනාගෙන් වඩාත් සැහැසි බවක් පෙන්නුම් කළේ ආනන්ද කණ්ඩායමේ නායකයා.

මීගමුව ක්‍රීඩාංගණයේ හතරේ සීමාවට යාර පනහක පමණ දුරක් තිබූ අතර වයස දාහතරක් වූ ආනන්ද නායකයා එල්ල කළ සමහර පහරවල් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගොස් ක්‍රීඩාංගණයට මඳක් එපිටින් තිබූ නිල නිවාසයක වහල මතට පතිත වුණා.

ආනන්ද කණ්ඩායමේ නායකයා සිය පෞද්ගලික ලකුණු මට්ටම 150 සීමාවට සේන්දු වෙද්දී සිය පුහුණුකරු ලයනල් මෙන්ඩිස් මහතා අමතා ඉනිම අත්හිටුවීමට එම ලකුණු ගණන ප්‍රමාණවත් වේ දැයි විමසා සිටිය ද මෙන්ඩිස් මහතා එයට කැමැත්තක් ප්‍රකාශ කළේ නැහැ.

එදා ආනන්ද කණ්ඩායම, ඉනිම සිය අත්හිටුවීමට තීරණය කරන අවස්ථාවේ ආනන්ද නායකයාගේ නමට ඉදිරියෙන් ලකුණු 315ක් සනිටුහන් වී තිබුණා.

“මට මතක විදිහට එදා මම හයේ පහර 12ක් සහ හතරේ පහර 48ක් එල්ල කළා” වයස දාහතරේ දී තමා පෑ වික්‍රමය ගැන පසු කලෙක ඔහු ලියුම්කරු සමඟ පැවසුවා.

“මම නැවතිල හිටියේ අපේ මාමලගෙ ගෙදර. මගේ බිරිඳ සමදරා මාමගේ දුව. මට මතකයි එදා මැච් එක ඉවරවෙලා ඇවිත් සමදරා ඇතුළු ගෙදර අය ‘කීයක් ගැහුවද’ කියල ඇහුවාම මම 315ක් කියල කිව්වා.

‘ආනන්දේ හොඳ ගාණක් ගහලනේ’ කියලා ඔවුන් කිව්වා. කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නෙවෙයි මම තනියෙන් ලකුණු 315 ගැහුවා කිව්වාම කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ.”‍

එතැනින් නොනැවතී පන්දු යවමින් ශාන්ත මරියා කණ්ඩායමේ කඩුලු‍ 11කට වග කියන්නට ද අර්ජුන රණතුංග නම් ආනන්ද නායකයා සමත්වුණා. එය පාසල් ක්‍රීඩකයෙකුට ඇදහිය නොහැකි අන්දමේ විශිෂ්ට තුන් ඉරියව් දස්කමක්.

1982 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට දහඅට හැවිරිදි අර්ජුන ත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියා.

“මංගල ටෙස්ට් තරගයට කලින් පැවැත්වුණ පුහුණු තරගයේ දී මම ලකුණු ටිකක් රැස් කළා. මතක විදිහට ලකුණු තිස් ගණනක්. තරගයට කලින් දවසේ බන්දු අයියා ඇවිත් කිව්වා ,‘හෙට තරගයට ඔබ ක්‍රීඩා කරනවා සූදානම් වෙන්න’ කියල. ඒත් අපේ කිසිම කෙනෙක්ට ටෙස්ට් තරගයක වෙන්නේ මොකක්ද කියල හරි හැටි අවබෝධයක් තිබුණේ නෑ.”

එදා පී. සරා ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු‍ හතර ලකුණු 34ක් වෙන විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට එංගලන්ත වේගපන්දුකරුවන් සමත්කම් පෑවා.
බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, දුලීප් මෙන්ඩිස් වැනි පළපුරුදු පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරයට ගිය අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගන්නට අගනා අර්ධ ශතකයක් ලබා ගන්නට තරුණ අර්ජුන සමත්වුණා.

පන්දු අනුහයකින් වාර්තා වූ අර්ජුනගේ ලකුණු 54ට අගනා හතරේ පහර හතක් අන්තර්ගත වී තිබුණා. එම ඉනිම පුරාවටම අනාගතයේ ක්‍රිකට් පිටියේ බිහිවෙන සුපිරි පුරාවෘත්තයක ලක්ෂණ නොඅඩුව පෙන්නුම් කෙරුණා.

අර්ජුන ගේ ක්‍රිකට් ක්‍රීඩාව පිටුපස තිබූ විශාලතම ආශීර්වාදය වුණේ ඔහුගේ මව කිව්වොත් වරදක් නැහැ. පාසල් ගුරුවරියක වූ ඇයගෙන් අර්ජුන ගේ පාසල් ක්‍රිකට් විනය සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති වූ බව කියවෙනවා.

වෛභව් සූර්යවංශි නම් යෞවනයා ඉදිරියේ තිබෙන අභියෝගය නම් ඔහු සතු අසීමිත සහජ කුසලතාව නිසි පරිදි ඉදිරියට රැගෙන යෑමයි. මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී ඔහුට ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මිලක් නියම වුවත් අනාගතයේ දී මෙය දසගුණය ඉක්මවා යන බව දැනටමත් පැහැදිලි වී හමාරයි. ඔහු කරා පැමිණෙන අසීමිත මුදල් කන්දරාව, ප්‍රසිද්ධිය හමුවේ දක්වන ප්‍රතිචාර අනුව වෛභව් සූර්යවංශි තවත් සචින් තෙන්දුල්කාර් කෙනෙකු වෙනවා ද නැතහොත් අඩු වයසින් විකසිත වී මැළවුණ, විනෝද් කම්බ්ලි හෝ ප්‍රිත්වි ශෝ කෙනෙකු වෙනවාද කියා ලියවෙනු ඇති.

කාංචන පිටිගල