බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා


ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි. 

නූතනයේ පහළ වී වදාළ අභිඤ්ඤාලාභී යතිවරයාණන් වහන්සේනමක් පිළිබඳව මා ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසලෙහි දරුවකුගේ දෙමාපියන් මාර්ගයෙන් දැනගන්නට ලැබුණේ 2019 වර්ෂය තුළදීය. උන්වහන්සේට මේ විශ්වයේ ඕනෑම දෙයක් දැකිය හැකි බවත්, ඕනෑම අයෙකුගේ සිත දැකීමටත්, සංසාර ගමන කල්ප ගණනක් ආපස්සට දැකිය හැකි බවටත් එම දෙමාපියන් යුවල මා සමග ප්‍රකාශ කර සිටියහ. එහිදී මා තුළ ජනිත වූයේ භාවනාවෙන් තෙවැනි ඇය උපදවාගත් හිමිනමක් බවට මෙම හිමියන් පත්ව ඇති බව යන්නයි. එවැනි භාවනාවෙන් අභිඤ්ඤා බල උපදවාගත් භික්ෂුන් වහන්සේලා මෙම කාල වකවානුවේ සිටීද යන්න මා සිත තුළ උභතෝකෝටික ගැටලු‍ රැසකට මුහුණ දුන් කරුණක් බවට පත් විය.

මෙහි සත්‍ය, අසත්‍යතාව දැනගැනීම පිණිස මා එම දෙමාපියන් සමග උන්වහන්සේ බැහැදැකීමට ගිය අතර, එමගින් මා උන්වහන්සේ පිළිබඳව මා ගෙන සිටි ප්‍රතිරූපය හාත්පසින්ම වෙනස් කරමින් විශ්මයජනක සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. මෙම හිමියන් කිසියම් තිරයකින් බලා කියන්නාක් මෙන් මා පිළිබඳ පෞද්ගලික තොරතුරු රැසක් ඉතා නිවැරැදිව ප්‍රකාශ කිරීමටත්, මාගේ සිත කියවීමටත්, මා පැමිණි සංසාර ගමන ගැන ප්‍රකාශ කිරීමටත් කන්දෙණියේ ප්‍රඥාදීප හිමියෝ සමත් වූහ.

එහිදී මා මෙම හිමියන්ගෙන් විමසා සිටියේ මෙවැනි හැකියාවක් ඇති මෙවැනි අභිඤ්ඤාවක් ඇති තවත් ස්වාමින් වහන්සේලා මේ මනුස්ස ලෝකය තුළ සිටිනවාද යන්නයි. එහිදී අප ලිපිය මගින් පළ කිරීමට කටයුතු කරන මාතෘකාවට කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියෝ අවතීරණය වූහ. එම දේශන අපි මෙලෙස සංවාදයක ස්වරූපයෙන්ම ඉදිරිපත් කරන්නෙමු.

ප්‍රඥාදීප හිමි: මම දවසක් මෙම ශක්තිය ලැබුණට පස්සෙ බැලු‍වා මම වගේ මේ විදිහට දේවල් බලන්න, දකින්න පුළුවන් අය ඒ කියන්නේ අභිඤ්ඤා තියෙන අය ඉන්නවද කියලා. මම ඒක බැලු‍වේ භාවනාවට සමවැදිලා ඉන්නකොට. එතකොට මම දැක්කා මට වඩා දේවල් කියන්න පුළුවන් දකින්න පුළුවන් ස්වාමින් වහන්සේලා පස් නමක් තවමත් වැඩ සිටිනවා කියලා. මට පහළ වුණු අභිඤ්ඤාවට වඩා මෙම ස්වාමින් වහන්සේලාට තිබෙන අභිඤ්ඤා ප්‍රබල ඇයි කියලා නුවණින් බලනකොට තමයි මම දැක්කේ මේ සාමාන්‍යය ස්වාමින් වහන්සේලා නෙමෙයි පංච අභිඤ්ඤා සහිත රහතන් වහන්සේලා පස් නමක් කියලා.

අවසරයි ස්වාමින් වහන්ස, මට එතනදි ගැටලු‍වක් තියෙනවා. මම දන්න විදිහට කෙනෙක් රහතන් වහන්සේ නමක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් එක්කො ඒ රහත් වුණු උතුමන්ට නැතිනම් බුදුවරයෙකුට පමණයි. එහෙමනම් ඔබවහන්සේ මේ අභිඤ්ඤාවට ඒ රහත්වුණු උතුමන් වහන්සේලා දැක්කේ කෙසේද?

ප්‍රඥාදීප හිමි: අද කාලේ මිනිස්සු මේ අභිඤ්ඤාව කිව්වාම හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්, මේකෙන් විශේෂ දේවල් කරන්න බෑ කියලා. මේ අභිඤ්ඤා ශක්තියෙන් ඕනම දෙයක් දකින්න, බලන්න පුළුවන් විශ්වයේ කෙලවර ආරම්භය නැතුව. අභිඤ්ඤාවක් දෙවෙනි වෙන්නේ පංච අභිඤ්ඤාවට විතරයි. පංච අභිඤ්ඤාවට තිබෙන සෘද්ධි බලය හැර අනෙක් සියලු‍ම දේවල් අභිඤ්ඤාවට තිබෙනවා. මම මහත්තයාගේ සිතේ තියෙන දේවල් කිව්වේ, මහත්තයට වුණු දේවල් වෙන්න තියෙන දේවල් කිව්වේ මේ අභිඤ්ඤා ශක්තියෙන්. එහෙම ශක්තියක් තිබෙන මේ අභිඤ්ඤාවෙන් පුළුවන් කෙනෙක් මාර්ගඵල ලැබුවද නැද්ද කියල පවා හොයාගන්න. මොකද එහෙම අයෙක් රහත් වෙලා නම් අභිඤ්ඤාවෙන් එදෙස බලනකොට පෙනෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රම මගින් ඒ දේ සොයාගන්න පුළුවන්. මේ අභිඤ්ඤා ශක්තිය බුදුපියාණන් වහන්සේ මට විතරක් ලබාදුන් දෙයක්වත්, මට විතරක් ලැබෙන දෙයක්වත් නෙමෙයි. නිවැරැදිව ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන භාවනා කරන ගිහි පැවිදි ඕනෑම අයෙක්ට මේ අභිඤ්ඤාව ලැබෙන්න පුළුවන්. නමුත් අභිඤ්ඤාව ගන්න අදහසින් භාවනා කරාට ඒ දේවල් ලැබෙන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේ කවදාවත් අභිඤ්ඤාව, පංචඅභිඤ්ඤාව වර්ණනා කළේ නෑ. උන්වහන්සේ වර්ණනා කළේ නිවන් මාර්ගය විතරයි.

එතකොට ඔබවහන්සේ දේශනා කරන පරිදි  අභිඤ්ඤාවෙන් රහතන් වහන්සේලා වැඩඉන්නවාද, නැද්ද කියලා දකින්න පුළුවන්. එහෙම නුවණක් ඔබවහන්සේට භාවනා කිරීමෙන් ලැබුණා. එතනදි ඔබවහන්සේ ඒ පංචඅභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා සමග සිතින් කතා කරන්න උත්සාහ කළාද? එහෙම කතා කළා නම් ඒ මොන විදිහටද ස්වාමින් වහන්ස.

ප්‍රඥාදීප හිමි: මම ඒ පංචඅභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා පස්නමම දැක්කේ එකම ස්ථානයක. බෙරගල කන්ද කියන ස්ථානයේ තමයි උන්වහන්සේලා වැඩ සිටියේ. මේ බෙරගල කඳුමුදුන තුළ කිසිදු මිනිස් වාසයක් නොමැති ප්‍රදේශයක්. මේ බෙරගල කන්ද ප්‍රදේශය තුළ කුඩා පන්සලක්, පලතුරු උයනක් සහ ගල් ලෙනක් පිහිටා තියෙනවා. අන්න ඒ ගල්ලෙන තුළ තමයි පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා වැඩ සිටින්නේ. මේ ගල්ලෙන අතීතයේ අපේ සිංහල රජවරු යුද අවස්ථාවලදී පරාජයට පත්වුණු විට සැඟවෙන ස්ථානයක්. මම මනෝකායෙන් ඒ ස්ථානයට ගිහිල්ලම බැලු‍වා. ඒ ගල් ගුහාව අසල තියෙනවා ගල් පඩි 30ක් විතර. ඒ ගල් පඩි 30 නැගලා බැලු‍වට පස්සේ තමයි මේ ගල්ලෙන තියෙන්නේ. අන්න ඒ ගල්ලෙන තුළ තමයි මේ මහා රහතන් වහන්සේලා පස්නමම වැඩ සිටින්නේ. මම මේ රහතන් වහන්සේලා මුලින්ම දැක්නේ භාවනාවට සමවැදිලා ඉන්නකොට. මම ඉතින් භාවනාවෙන්ම සිතින් උන්වහන්සේලාට ඉතා ගෞරවයෙන් කතා කළා. එහෙම කතා කළාම උන්වහන්සේලා මම දිහා හැරිලා බැලු‍වා. හරියට ඒක අපේ ඉස්සරහ කවුරුහරි ඉන්නවනම් අපි කතා කළ විට අපි දිහා හැරිලා බලනවා වගේ. එහෙම උන්වහන්සේලා මම දිහා හැරිලා බලලා එක පාරටම මට උන්වහන්සේලාව පෙන්නේ නැති වෙන්න මීදුම් වලාවකින් වහලා දැම්මා. මම ඒකයි මුලින් කිව්වේ මගේ අභිඤ්ඤා ශක්තියට වඩා උන්වහන්සේලාගේ පංච අභිඤ්ඤාව සිය දහස් ගුණයකින් බලවත් කියලා. ඒ විදිහට මී දුම් වලාවකින් උන්වහන්සේලා වැහිලා ගියාට පස්සේ ඒ මීදුම්වලාව අතරින් වචන විදිහට බොහෝම පැහැදිලිව දිස්වෙනවා. අන්න ඒ විදිහටයි මම ඒ මහා රහතන් වහන්සේලා සමග කතා කරන්න කටයුතු කළේ අභිඤ්ඤාවෙන්.

ස්වාමින් වහන්ස, ඒක හරියට මැජික් එකක් වගේනේ. මීදුම් වලාවන් අතරින් අපේ භාෂාවෙන්ම වචන වැටෙනවා කිව්වාම ඒක හිතාගන්න බැරි දෙයක්නේ. මේ කතාව යම් අයෙක් විශ්වාස කරන්නේ කොහොමද මෙහෙම වෙන්න පුළුවන් කියලා.

ප්‍රඥාදීප හිමි: පංච අභිඤ්ඤා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. සෘද්ධියෙන් අහසින් වුණත් යන්න පුළුවන්නම්, අන් අයගේ සිත් කියවන්න දකින්න පුළුවන් නම් අර වගේ මීදුම් වලාවක් අතරින් අපේ භාෂාවෙන් වචන මැවෙන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ යන විට ලැබෙන ශක්තීන් හරිම පුදුමයි. මේ හැමදෙයක්ම සොබාදහමේ දේවල්. සුළඟ හමනවා අපට දැනෙනවා. ඒත් කොහෙන්ද මේ සුළං එන්නේ, කොහොමද වෙන්නේ කියල අපි දන්නේ නෑ. මොකද ඒවා මහා පුදුමසහගත විස්මය ජනක සොදහමේ දේවල් වෙන ආකාරයක් හිතාගන්න බෑ. පංච අභිඤ්ඤාවලින් කරන්න පුළුවන් හැකියාවනුත් ඒ වගේමයි.

ස්වාමින් වහන්ස, එතකොට මේ අපි ඉන්න මනුස්ස ලෝකයටම ඉන්න එකම රහතන් වහන්සේලා පස්නම උන්වහන්සේලා පස්නමම විතරක්ද? ඒ උතුමන් වහන්සේලා දාන මාන ආදිය සපයා ගන්නා ආකාරය ගැනත් ඔබවහන්සේ අභිඤ්ඤාවෙන් බැලු‍වද?

ප්‍රඥාදීප හිමි: මේ මනුස්ස ලෝකයටම විතරක් නෙමෙයි, අපි මේ ඉන්න මුළු 31 තලයටම ඉන්නේ රහතන් වහන්සේලා පස් නමක් විතරයි. ඒ රහතන් වහන්සේලා පස්නමම පංච අභිඤ්ඤාලාභී සෘද්ධියෙන් (අහසින් ගමන් කළ හැකි) යා හැකි උතුමන් වහන්සේලා. ඒ පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා පනස්නමම හැර මේ 31 තලය තුළ (අප ජීවත් වන මනුස්ස ලෝකය ද අයත්ය) වෙනත් කිසිදු මහා රහතන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් දැනට වැඩවාසය කරන්නේ නෑ. ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි. වයස අවු. 55ත් 80ත් අතර මෙම උතුමන් වහන්ස්ලා පසුවන අතර, ඉතා සිහින් ශරීරයකින් යුක්ත වනවා. දුර්වල වූ සියුම් ශරීරයක් දරාගෙන තමයි උන්වහන්සේලා වැඩසිටින්නේ.

මේ පිංවත් පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා දානමාන සපයාගන්නේ පිණ්ඩපාතයෙන්. මම ඒ ගැනත්  අභිඤ්ඤාවෙන් බැලු‍වා. මෙම බෙරගල කන්දේ වැඩවාසය කරන උතුම් රහතන් වහන්සේලා පස්නමම සෘද්ධියෙන් තිස්සමහාරාමය, කතරගම, සිතුල්පව්ව වැනි දුෂ්කර ගම්මානවලට පිණ්ඩපාතයට වඩිනවා. අදටත් ඒ දේ සිදුවෙනවා. එම ප්‍රදේශවල සිටිනා දුප්පත්කමින් ඉහළ නිවෙස් වෙත ගොස් ඔවුන්ගෙන් තමයි දානය ලබා ගන්නේ. ඒකට ප්‍රධානම හේතුව එම දුගී දුප්පත් අය වෙනුවෙන් අනුකම්පාවෙන් අපමණ කුසල් රැස්කරවා දීම. මම මේ කියන කතාව තවත් තහවුරු කරගන්න පුළුවන් මම මුලින්ම කිව්ව තිස්සමහාරාමය, සිතුල්පව්ව, කතරගම වගේ ප්‍රදේශවල ඉන්න මිනිසුන් විඳි අත්දැකීම් ඇසුවොත් සමහර නිවෙස්වලට එම උතුමන් පිණ්ඩපාතයට වැඩලා ගෙදර අය දානය බෙදලා නැවත හැරී බලන කොට පිණ්ඩපාතයට වැඩි භික්ෂුව අතුරුදන් වී ඇති බව පවා දක්නට ලැබිලා තිබෙනවා. මාර්ගය දෙපසට ගොස් බැලූවත් භික්ෂුවක් වඩිනවා කියලවත් දැකගන්න ලැබිලා නැහැ. අන්න එලෙස වඩින්නේ බෙරගල කන්දේ වැඩ වාසය කරන පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා.

ස්වාමීන් වහන්ස, මේ පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා බෙරගල කන්දේ විතරමද වැඩ ඉන්නේ. ඇයි ඒ රහතන් වහන්සේලා අනෙක් මිනිසුන්ට දකින්න, බලන්න බැරි. දැන් ඔබවහන්සේ  අභිඤ්ඤාලාභී උතුමන් වහන්සේ නමක්. ඔබවහන්සේ දකින්න, බලන්න පුළුවන්නම් ඇයි ඒ උතුමන් දකින්න, බලන්න යන්න බැරි.

ප්‍රඥාදීප හිමි: මෙහෙමයි, පංච අභිඤ්ඤාලාභී මේ රහතන් වහන්සේලා නිරන්තරයෙන් බෙරගල කන්දේ තිබෙන පන්සලේ වැඩවාසය කරන්නේ නැහැ. මේ රහතන් වහන්සේලා බොහෝ වේලාවට විවේක සුවයෙන් වැඩසිටින්න උතුරුකුරු දිවයිනට වැඩම කරනවා. මේ මොහොත වන විටත් උන්වහන්සේලා පස්නම වැඩ සිටින්නේ උතුරුකුරු දිවයින තුළ. උන්වහන්සේලා මනුස්ස ලෝකයට වැඩම කළහොත් වැඩසිටින්නේ අර බෙරගල කන්දේ ගල්ගුහාව සහිත පන්සල තුළ. පිණ්ඩපාතය වඩින අවස්ථාවල දී  පමණයි උන්වහන්සේලා මිනිසුන්ට සම්මුඛ වෙන්නේ. උන්වහන්සේලා පස් නමම මිනිස් වාසයට පැමිණීමට අකමැත්තක් පල කරන උතුමන් වහන්සේලා. අපි හැමෝටම සංසාර ගමන තුළ පුරුදු පුහුණු කරන් ආ ක්‍රමයක් තියෙනවා. මේ උතුමන් වහන්සේලා පස්නම නිවන් අවබෝධ කළාට මිනිසුන් අතරට වැඩලා ඒ ධර්මය දේශනා කරන්නේ නෑ. ඒ සංසාරයෙන් ගෙනාපු ක්‍රමය. බුදුපියාණන් වහන්සේගේ කාලයෙත් වැඩසිටියා නිවන් අවබෝධ කරගෙන රහත් වුණු උතුමන් වනගත වෙලා හුදකලාවේ වාසය කරනවා. මිනිසුන් අතරට පැමිණෙන්නේ නෑ. ඒ කාලේම වැඩසිටියා සැරියුත්, මුගලන් වැනි මහ රහතන් වහන්සේලා, උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවන්න කටයුතු කරනවා. ඒ සංසාරෙන් අරගෙන ආ ක්‍රමය. මේ බෙරගල කන්දේ වැඩ වාසය කරන පංච අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා පස්නමත් හුදකලාවේ වැඩවාසය කරන, මිනිස් වාසයට පැමිණීමට අකමැති උතුමන් වහන්සේලා පස්නමක්. ඒ නිසාමයි උන්වහන්සේලා වැඩසිටින බෙරගල කඳු මුදුනට කිසිම මනුෂ්‍යයකුට යන්න බැරි. එහෙම මිනිසුන්ට උන්වහන්සේලා වැඩසිටින ස්ථානවලට යාමට නොහැකි වන පදිද්දෙන් සොබාදහම ගුප්ත බවක් නිර්මාණය කර තිබෙනවා.

පිංවත් ස්වාමින් වහන්සේ මේ සාකච්ඡාවේදී ඔබ වහන්සේ දේශනා කළා මේ බෙරගල කන්දේ පලතුරු උයනක් තිබෙනා බවක්. මේ පලතුරු උයන ස්වභාවිකවම නිර්මාණය වූ දෙයක් ද නැතිනම් මානව ක්‍රියාකාරකමක් මත සිදුවූ දෙයක්ද?

ප්‍රඥාදීප හිමි: මම මුලින් දේශනා කළ පරිදි මේ බෙරගල කඳුමුදුන කිසිදු මිනිස් වාසයක් නොමැති ප්‍රදේශයක්. ඒ නිසා එහි පිහිටා තිබෙන පලතුරු උයන කවුරුවත් වගා කළ දෙයක් නෙමෙයි. බෙරගල කන්දේ පලතුරු උයන පිහිටි කොටස අයත් වෙන්නේ ශ්‍රී පාද අඩවියේ කොටසකට. මේ පලතුරු උයනේ කෙසෙල්, පැණි දොඩම්, තැඹිලි, අඹ, කාමරංගා, ගස්ලබු, දිවුල්, අලිපේර, අන්නාසි වැනි පලතුරු වර්ගත්, කුඩා දිය ඇල්ලකුත් පිහිටලා තිබෙනවා. මේ දිය ඇල්ල බේරගල කඳු මුදුනෙන් ආරම්භ වෙලා අසල ගම්මානයක් දක්වා ගලා බසිනවා. මේ පලතුරු උයනටවත්, පන්සලටවත් ඇතුල් වෙන්න බැරි ආකාරයෙන් තමයි ගුප්ත දේවල් සහිත පසුබිමක් නිර්මාණය වෙලා තියෙන්නේ. 

මේ බෙරගල කන්ද අවට සිටින මිනිසුන් දුම්මල කැඩීමට, වේවැල් වර්ග කඩා ගන්න මේ වනයට ඇතුල් වුවහොත් පාර සොයාගැනීමට නොහැකි වන ලෙස අතරමං වෙනවා. එවැනි පුද්ගලයින් නොදැනුවත්කමින් මේ පලතුරු උයනට ඇතුළු වුවහොත් කුසගින්න නිවෙනකන් පලතුරු අනුභව කරන්න පුළුවන් වුණත් පලතුරු උයනෙන් පිටතට එකදු පලතුරක්වත් රැගෙන යාමට නොහැකි පරිදි ගුප්ත සිදුවීම් සිද්ධවෙනවා. ඒ පලතුරු ටික උයනේම දමා එනකන් පාර හොයාගන්න බැරි විදිහට අතරමං වෙනවා. මේ පලතුරු උයන, පන්සල, ගල් ගුහාව ආරක්ෂා කරන්න ඉන්නවා නොපෙනෙන බලවේග දෙකක්. විශාල දළ සහිත ඇත්රාජයෙකුයි, විශාල නාගයෙකුයි.

පිංවත් ස්වාමීන් වහන්ස, මේ දේ දකින්නේ ඔබවහන්සේ පමණයි. ඒ දියුණු කළ අභිඤ්ඤාවෙන් කෙනෙකුට ඔබවහන්සේ මේ කියන දේ බොරුවක් මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්. ඇතැමුන් නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරලා, ගුවනින් ඩ්‍රෝන කැමරා වැනි දේ ගෙන ගොස් පරීක්ෂා කරලා බැලු‍වොත් ඇත්තටම මේ කියන විදියේ පලතුරු උයනක්, පංච  අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලා වැඩසිටිනවා ද කියලා සොයාගන්න බැරිවුණොත් එයට ඔබවහන්සේගේ පිළිතුරු කුමක්ද?

ප්‍රඥාදීප හිමි: මම එයට මෙහෙම පිළිතුරක් දෙන්නම්. බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, මම දේශනා කළ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා. අන්න එවන් ආකාරයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය භාවනාවක් වශයෙන් වැඩූ කල සිත දියුණු කිරීම තුළින් මෙවැනි දේවල් දකින්න පුළුවන් කියලා විශ්වාස කරන අයට මෙය හුදෙක් මිත්‍යා කථාවක් නෙමෙයි. බුදුපියාණන් වහන්සේ දඹදිව වැඩ සිටින කාලයේ උන්වහන්සේව විශ්වාස කළ පිරිසක් වගේම නොකළ පිරිසකුත් සිටියා. එහෙනම් මේ වගේ කාලයක මොන කතාද? මහත්තයෝ මම මුලදීත් දේශනා කළා මේ බෙරගල කන්ද ගුප්ත සිදුවීම්වලින් බහුලයි කියලා. කිසිම තාක්ෂණික උපකරණයකට මම ඔය දේශනා කළ ටික උඩින් ගිහින් බැලු‍වත් සොයාගන්න බෑ. 

තාක්ෂණයට අහුවන්නේ, නූතන තාක්ෂණයට අසුවෙන්නැති කොයි තරම් දේවල් තියෙනවද? බර්මියුඩා ත්‍රිකෝණය, මරියානාගාදය, හඳේ අඳුරුපැති තාක්ෂණයට අසුවෙන්නේ නෑ. ඒවා සොබාදහමෙන් වහලා තියෙන්නේ. එහෙනම් ඔය කැමරාවලට හසුවෙන්න එපැයි දිව්‍යලෝකය, අපායන් කෝ අසුවුණාද නෑ. ඒකට හේතුව ඒ තාක්ෂණික උපකරණයට වඩා ඉහළ ශක්ති ප්‍රභවයකින් ඒ දේවල් තිබෙන නිසා. මේ දේවල් දකින්න පුළුවන්  භාවනා කරලා ලබාගත් අභිඤ්ඤාවකින්ම විතරයි. මිත්‍යාවක් කියා යමෙක් කියනවා නම් හොඳම දේ භාවනා කරලා අභිඤ්ඤාවකින් එහි සත්‍ය අසත්‍යතාවය දකින එක.

මම මේ දේශනා කරන බෙරගල කන්දේ මහා රහතන් වහන්සේලා විස්තරය බොරුයි කියන ඕනෑම කෙනෙකුට මාව හමුවෙලා සාකච්ඡා කරන්න පුළුවන්. මම ඒක බය නැතුව කියන්නේ භාවනාවෙන් ලබාගත් අභිඤ්ඤාවෙන් මේ විශ්වයේ ඕනෑම දෙයක් අසන, ඕනෑම දෙයක් තියන්න හැකියාවක් මට තිබෙන නිසා.

මම දවසක් මෙම ශක්තිය ලැබුණට පස්සෙ බැලු‍වා මම වගේ මේ විදිහට දේවල් බලන්න, දකින්න පුළුවන් අය ඒ කියන්නේ අභිඤ්ඤා තියෙන අය ඉන්නවද කියලා. මම ඒක බැලු‍වේ භාවනාවට සමවැදිලා ඉන්නකොට. එතකොට මම දැක්කා මට වඩා දේවල් කියන්න පුළුවන් දකින්න පුළුවන් ස්වාමින් වහන්සේලා පස් නමක් තවමත් වැඩ සිටිනවා කියලා. මට පහළ වුණු අභිඤ්ඤාවට වඩා මෙම ස්වාමින් වහන්සේලාට තිබෙන අභිඤ්ඤා ප්‍රබල ඇයි කියලා නුවණින් බලනකොට තමයි මම දැක්නේ මේ සාමාන්‍යය ස්වාමින් වහන්සේලා නෙමෙයි පංච අභිඤ්ඤා සහිත රහතන් වහන්සේලා පස් නමක් කියලා.

මහත්තයෝ, මේ ලෝකේ ආවට ගියාට යොදාගන්න බැරි නම් තුනක් තිබෙනවා. බුදුවරයෙක් නොවන කෙනෙකුට බුදුවරයෙක් කියන නම දාගන්න බෑ. මොකද බුදුවරයෙකු නම් උන්වහන්සේ සතු වන අනන්ත බුදු ගුණ, අනන්ත හැකියාවන්, පිං ඇති අයට සිතට බණ කියා මාර්ගඵලවල පිහිටවීම ආදී බොහෝ දේ කළ හැකි විය යුතුයි. දෙවැනි කෙනා පංච  අභිඤ්ඤා ඇති නැති රහතන් වහන්සේලා. ඒ නමත් ආවට ගියාට යොදාගන්න බෑ. පංච  අභිඤ්ඤා තිබේ නම් ඕනෑම දෙයක් මවා පෙන්වන්න, සෘද්ධියෙන් අහසින් වඩින්න පුළුවන් විය යුතුයි. 
රහතන් වහන්සේ නමක් යැයි යමෙක් තමන් හුවා දක්වනවා නම් ඔහු තුළ කිසිදු ආලෝකයකට සෙවණැල්ලෑවක් නැති විය යුතුයි. ඒ වගේ තමයි මහත්තයෝ, මේ අභිඤ්ඤාවත්.  අභිඤ්ඤාවක් නැතිව ඒක තියෙනවා කියලා කියන්න බෑ. මොකද අභිඤ්ඤාවක් තිබෙන කෙනාට අන් අයගේ සිත කියවන්න, අන් අයගේ චරිත ස්වභාවය කියන්න, සංසාර ගමන කියන්න, සුදුසු භාවනා කමහටක් ලබාදෙන්න, අසන ඕනෑම ප්‍රශ්නයකට (විශ්වය ගැන) පිළිතුරු දෙන්න පුළුවන් විය යුතුයි. එම නිසා භාවනාවක් කරලා මෙහි සත්‍යය, අසත්‍යතාවය දැකීමයි වටින්නේ.

කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකසන ලද්දකි.
(ස්වාමින් වහන්සේ හමුවී භාවනා කමටහන් ලබාගැනීම සඳහා විමසීම්:
0771598721, 0752707245