ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි


ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිතය වසර 12,000 ක ඉතිහාසයකට උරුමකම් කියයි. අහසේ දිස්වන තාරකා අනුව කාලගුණය, යුද්ධ කැරලි, වසංගත සහ සමාජ දේශපාලන පෙරළි පිළිබඳව පූර්ව නිමිති පෙන්වන බවත් ඒ අනුසාරයෙන් අනාගතය කල්තබා දැනගත හැකිය යනු මේ විෂයෙහි ඇති මූලික පදනම වේ.

උක්ත ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව අනුව ලංකා භූමිය අයත් වන්නේ කුම්භ රාශියට ය. මෑත ඉතිහාසයේ නම් රටකට අයත් රාශිය සොයනු ලබන්නේ අක්ෂාංශ සහ දේශාංශ දැනුම භාවිතයට ගැනීමෙනි. ලංකාව අයත් වන්නේ කුම්භ රාශියට බව අප කියනුයේ මේ රට සුද්දන් ගෙන් නිදහස් වූ අවස්ථාවේ උදා වී තිබුණු රාශිය කුම්භ වීම නිසා නොව ඉහත කී භූගෝලීය බෙදීම් රාශි චක්‍රයට අනුව ගැන බැලීමෙන් බව අවධාරණය කළ යුතුය.

කෙසේ නමුත් කුම්භ ලග්න ලංකා කේන්දරය සහ රාහු ග්‍රහයා අතර ඇති සම්බන්ධය පුදුමාකාර වේ. ආසන්න වශයෙන් වසර 18 ට වරක් රාහු කුම්භ රාශියට පිවිසෙන අතර, ඒ සෑම විටෙකම ලංකාවේ සමාජ දේශපාලන වටාපිටාව බෙහෙවින්ම ආන්දෝලනාත්මක ආතතියකට පත් කරනු ලැබ තිබේ. ඒවා යුද්ධ කැරලි කෝලාහල හෝ සමාජ දේශපාලන පෙරළි ලෙස හෝ ඉස්මතු වෙයි.

විරුද්ධ දේශපාලන බලවේග හෝ පුද්ගලයන් හෝ මර්දනය කිරීම පිණිස ආණ්ඩුව බලය පාවිච්චි කිරීමට යොමු වුවහොත් එය ඛේදවාචකයකින් සහ වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම අහෝසි වී යෑමෙන් කෙළවර විය හැකිය.

2025 මැයි මස 18 දා නැවත වරක් රාහු ග්‍රහයා කුම්භ රාශියට පිවිසීමට සූදානමින් සිටී. එමෙන්ම 2026දෙසැම්බර් 5 දා තෙක් ආසන්න වශයෙන් මාස 18 ක් එහි ගමන් කිරීමට ද නියමිතය. එකී දහ අට මාසය ලංකාවට බෙහෙවින් තීරණාත්මක වනු ඇත.

ඉතිහාසය දෙස සැකෙවින් නෙත් යොමු කළහොත් 1932-33 / 1951-52 / 1969-70 / 1988-89 / 2006-07 / යන කාල පරාසයන්හි රාහු ලංකා කේන්දරයේ ලග්න ශීර්ෂයේ ගමන් ගත් අතර, එකී කාලයන්හි මෙරට හටගත් සමාජ

දේශපාලන පෙරළි මොනවා ද යනු ඉතිහාසය පිරික්සීමෙන් ඔබට මැනවින් අවබෝධ කැරගත හැකිය.

2025 රාහු කුම්භ රාශිගතවීම පිළිබඳ පුරෝකථනයන් මෙසේයි.

  1. 2025 මැයි 18 දිනයෙන් ඇරඹෙන රාහුගේ කුම්භ රාශි ගමනේ ඉදිරි දහ අට මාසය වත්මන් ජා.ජ.බ. ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වේ.
  2. වඩාත් වේගවත් සහ රැඩිකල් පන්නයේ ගමන් මාර්ගයක් දෙසට ආණ්ඩුව යොමු වන අතර, එමගින් එක් අතෙකින් වඩා ප්‍රගතිගාමී සමාජ දේශපාලන නවීකරණයන් සහ ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ හැකිය. කිසියම් හෙයකින් ආණ්ඩුව එකී අවස්ථාව හරිහැටි භාවිතා නොකළහොත් ඔවුනට තවත් කිසිදු අවස්ථාවක් හිමි වන්නේ නැත.
  3. ඊට සමාන්තරව සහ ප්‍රතිරෝධීව විකල්ප සමාජ දේශපාලන බලවේගයන් නවීකාරත්වයෙන් යුතුව ආණ්ඩුවට එරෙහිව බලවත් ලෙස නැගී සිටිනු ඇත.
  4. එකී විරුද්ධ දේශපාලන බලවේග සමග නො ගැටී හෝ ඒවා මායිම් නොකරමින් ආණ්ඩුවට ඉදිරියට යෑමට අවස්ථාව තිබේ.
  5. එහෙත් එකී විරුද්ධ දේශපාලන බලවේග හෝ පුද්ගලයන් හෝ මර්දනය කිරීම පිණිස ආණ්ඩුව බලය පාවිච්චි කිරීමට යොමු වුවහොත් එය ඛේදවාචකයකින් සහ වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම අහෝසි වී යෑමෙන් කෙළවර විය හැකිය.
  6. වත්මන් ආණ්ඩුව කෙරෙහි බාහිර සහ අභ්‍යන්තර යන දෙ අංශයෙන්ම මතභේදකාරී ඉස්මතුවීම් සිදුවන නමුත් ඒ සියල්ලක්ම උපාය කෞශල්‍යයෙන් ජය ගැනීමට ද මහජන මතය (public opinion) පළිහක් කොට ගනිමින් විරුද්ධවාදී කඳවුරු දුබල කිරීමට ද හැකියාව තිබේ. එය බොහෝ විට සිදුවන බව පෙන්නුම් කරනුයේ පොදු ජාතික සම්මුතියක් වෙත නිරහංකාරව ගමන් කිරීමෙනි.
  7. වැඩ වර්ජන, වෘත්තීය ක්‍රියාමාර්ග, කඩාකප්පල් කිරීම් සහ මහජන සාමය බිඳ දැමීම ආදී වශයෙන් නොසන්සුන්තාවන් තීව්‍ර වන මුත් ඒ කිසිවකින් විරුද්ධවාදීන්ට ජය ගැනීමට අවස්ථාවක් නොලැබී යනු ඇත.
  8. නව දේශපාලන බලවේග සහ ප්‍රවණතා බලවත් ලෙස හිස ඔසවන අතර එය ආණ්ඩුවට සහ සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලන බලවේගයන්ට විශාල අභියෝගයක් බවට පත් වේ.
  9. ආර්ථික වශයෙන් රට ක්‍රමානුකූලව ස්ථාවර තත්ත්වයක් දක්වා ගමන් කරනු ඇත.
  10. රාහු මීන සහ කුම්භ රාශීන්හි ගමන් ගනිත්දී විදෙස් අත පෙවීම් සහ මතභේදාත්මක ගිවිසුම් සඳහා ලංකා රාජ්‍ය මෙවැනි බොහෝ අවස්ථාවල අකමැත්තෙන් වුව පෙලඹීමට ලක්වන මුත් අවසානයේ ඒවා දිගුකාලීනව ලංකාවට වාසියක් වෙමින් සහ බලහත්කාර විදෙස් පාර්ශ්වයන්ට හානිකර ලෙස අවසන් වී තිබේ. මෙවර ද ඒ එලෙස ම සිදුවනු ඇත.
  11. 2026 දෙසැම්බර් මාසය දක්වා සහ ඉන් ඉදිරියට වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ 2025 මැයි මාසයේ සිට එළඹෙන තීරණාත්මක දහ අට මාසයේ ක්‍රියාකලාපය අනුව බව අවධාරණය කළ යුතුව තිබේ.
  12. මීට පෙර ද පුරෝකථනය කළ පරිදි අසල්වැසි ඉන්දියාවේ සමාජ දේශපාලන ස්ථාවරභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වන අතර දකුණු ආසියානු දේශපාලන හැඩය ද වෙනස් වේ. එකී වෙනස්වීම් ද ඍජුව සහ වක්‍රව මෙරට ඉදිරි ගමන් මග කෙරෙහි සාධනීය බලපෑමක් කරනු ලැබේ.

පුරෝකථනය:
ටොලමියානු ජ්‍යෝතීර්වේදී 
කේ. සී. ජේ. රත්නායක