වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම


 
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
 
මේෂ ලග්නය
ආත්ම ගෞරවය රැකගන්න
 
මෙම මස ග්‍රහ ගමන ඔබට එතරම් යහපත් අයුරින් ක්‍රියාත්මක නොවන හෙයින් සමාජීය වශයෙන් ඔබ කරන කියන දේත් අත ගසන සියලු වැඩකටයුතුත් සැලකිල්ලෙන් විමසිල්ලෙන් වගකීමෙන් යුක්තවම කරන්න. මෙම කාලයේදී තමා තුළ පැවති ගති ලක්ෂණ පිරිහී හොඳ නම හා තත්ත්ව හානි වීමටත් හේතු යෙදෙන නිසා ආත්ම ගෞරවය සුරැකෙන ලෙසට කටයුතු කරන්න. 
 
ඉක්මනින් කිපෙමින් හා අරමුණු නැති වෙහෙසකර ගමන් යෙදෙමින් ධන හානි සිදුකර ගනිමින් බාධක ප්‍රමාද ආදියට මුහුණ දෙමින් පවුලෙන් වෙන් වී බියෙන් සැකයෙන් පසු තැවෙන්නට ද මෙම මස ඇතැම් දිනවල ඔබට සිදු වේ. එසේ නමුදු තමාගේ ක්‍රියාකලාපය අන්‍යයන් වෙත බලපෑමට නතුකර ගැනීමට කදිම මාසයක් වන මෙම වකවානුවෙහි ඔබ පුද්ගල කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. රැකියාව ගැන වෙසෙසින් සාවධාන වන්න. වගකීම්සහගත වන්න. එයට හේතුව රාජකාර ස්ථානයේ අන්‍යයන් සමග කටයුතු කිරීමට අසීරු වග පෙනී යනවා ඇත. ඇතැම් තත්ත්ව යටතෙහි යුග දිවියෙහි ප්‍රශ්න ද මතු වනු ඇත. ඒවා විසඳීමට තැත් කළ යුතුව ඇත. රැකියා මාරු, ස්ථාන මාරු, ගමන් බිමන් ආදී ආකාරයෙන් පවුලෙන් වෙන් වී සිටින්නට සිදුවනු ඇත. නෑදෑ හිතවතුන් සමග පැන නගින මත භේද කලහ ආදිය නිසා සිතෙහි කලබල මතු වෙයි. 
 
හිසරදය හා ඇස් රෝග වැලඳෙයි. විශේෂයෙන් ඔබ මෙම මාසයේදී සාද ඇරැයුම් ආදියෙන් මගහැර සිටීම සැනසිල්ලට හේතු වේ. 
 
වෘෂභ ලග්නය
සැනසිලි සහගත කාලයක්
 
රවි ග්‍රහයාගේ ගෝචර ගමන සුබාසුබ මිශ්‍රව ගතවන නිසා ඔබට මෙම මැයි මාසය සිතට සතුට දනවන දේත් සමගම සිතට අසතුට දනවන දේත් එලෙසම ගොඩනැගෙයි. මුල් සති දෙකේදී ඔබ ඔබ සමග මෙන්ම ලෝකය සමග කරන කටයුතුවලදී ද හැකිතාක් අවංක වන්න. ඔබේ වැරදි මෙන්ම යහගුණද පිළිගනිමින් ඒ අනුව සකස්වීමට සූදානම් වන්න. 
 
ඔබට එරෙහි අය ගැන කුතුහලයෙන් පරීක්ෂාකාරී විය යුතුය. ඔවුන් සිදු කරන පාඩු හා ඇති කරන සිත් කලබල ඔබ නොදන්නා බැවිනි. එසේම මෙම මස මුල් සති දෙක තුළ  කරදර කනස්සලු ඇති වේ. සෞඛ්‍යය පීඩා වී උසස් අයගෙන්, රජයෙන් අප්‍රසාදය හිමි වේ. ඇස් රෝග උදරාබාධ වැලඳේ. 
 
මුදල් ලාභ, මිත්‍ර ලාභ, සැප පහසු දේ අත්කර ගැනීම විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර මානසික හා ගෘහ ජීවිත සතුට අභිවෘද්ධිය මෙම මස සුබපලයන් අතර හිමිවේ. අදායම වැඩි වී නිවසෙහි ප්‍රීතියෙන් සිටිය හැක. සමූහ වැඩ සඳහා හොඳම මාසයයි. සියල්ලන් සමග සුහද වේ. කවර ප්‍රස්ථාවයෙහි වුවද අන්‍යයන් ඔබට දයාබර වනු ඇත. එසේම ඔබට මෙම මස අවසන් සති දෙක අළුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඉතාම හොඳ කාලයකි. වැඩ කටයුතු ඉහළ යයි. මිත්‍රයන් ගෙන් උපකාර ලැබේ. සහෝදරයන්ගෙන් සහ අසල්වාසී හිතමිත්‍රයන්ගෙන් ද උපකාර ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ප්‍රීතිය ඇති වේ. සැනසිලි සහිතව කාලය ගත වේ. මෙම කාලය තුළ අලුත් වැඩකට අතගැසීම ඵලදායක වීමට හේතු වේ.
 
මිථුන ලග්නය
සබඳතා දියුණුවෙයි
 
මැයි මස මුල් සති දෙක ගතට සිතට සතුට සැපත ගෙන දෙන අයුරින් ගතවෙයි. ඔබගේ ක්‍රියාශූරත්වය ඥාති හිත මිතුරන් වෙතින් හඳුනා ගනිමින් ප්‍රධානියකු හෝ ස්වාධීන බලයෙන් යුතු අයකු ලෙස මෙම කාලයෙහි ඔබ කටයුතු කරනු ඇත. අනුන් සමග කටයුතු කිරීම වාසිසහගත වනු ඇත. මිතුරන්, අසල්වාසීන් සමග සමාජශීලීව ආස්වාද විඳියි. 
 
ඔබට ගරුසරු ලැබෙනු ඇත. එහෙත් අන්‍යයන් නොරවටන්න. පිළිගැන්ම හා සහයෝගය ලබා ගැනීම සඳහා ඔබගේ පෙලඹීම්, කුසලතා හා කටයුතු පෙන්විය හැකි වේ. අනුන්ගේ සහයෝගය ලබා ගැනීමට, උද්‍යෝගී හැඟීමෙන් සතුටු වීමට හොඳ කාලයකි. වෙහෙසී කරන කටයුතුවල ඵල ලැබෙනු ඇත. වැඩකටයුතු ව්‍යාප්ත කිරීමට විවේක ගැනීමට හා උනන්දුව ඇතිකර ගැනීමටත් මෙය ශුභදායක කාලයකි. විනෝද ක්‍රීඩාවල යෙදෙයි. සතුරන් පරදවයි. ප්‍රධානීන් සමග සබඳතා සුහද වේ. ඔබගේ කටයුතුවලට ඔවුන්ගේ උපකාර ලැබෙනු ඇත. අඩපණව පැවති ආදායම ඉපැයීම් මාර්ගද ශක්තිමත් වේ. මෙම මස අවසන් සති දෙක ශරීර සුවතාව කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අන්‍යොන්‍ය යහපත සඳහා අන්‍යයන් සමග පවතින ගැටලුවක් ගැටීමකට පෙරැළිය හැකි බැවින් එයින් වළකින්න. සිත් තැවුල්, කැලඹීම් හා සංකා ඇති කරවමින් ප්‍රධානීන් සමග සබඳතා පලුදු විය හැක. එවැනි සබඳතා රැක ගත යුතුය. කෙසේ නමුත් ඔබගේ විරුද්ධවාදීන් ජය ගැනීම සඳහා වඩාත් උපායශීලීව කටයුතු කරන්න.
 
කටක ලග්නය
දිවියේ නව ආරම්භයක්
 
ඔබේ ලග්නය අනුව සූර්යය ගමන යහපත්ව යෙදෙන මෙම මාසය සමාජයට මුහුණදීම සඳහා ඔබගේ ආත්ම විශ්වාසය අලුත් කරමින් හදිසි උනන්දුවක් හා උත්සාහයක් ඔබ තුළින් ජනිත වේ. පල ප්‍රයෝජන සැලසෙන කාර්යයකට හැඩ ගැසීමට ඉඩප්‍රස්ථා  සැලසෙනු ඇත. මෙම කාලය දිවියෙහි නව ආරම්භයක් පෙන්නුම් කරන බැවින් ඉහත උපදෙස් අනුව වැඩ කරන්න. 
 
ඔබට අනුකූල වනු ඇති නෑ හිත මිතුරු හා විරුද්ධ ලිංගිකයන් සමග සමීප ඇසුර ඇති වේ. එම සබඳතා බලවත් විය හැක. පලුදු වූ සබඳතා ඇති අය සමග මුදු මොළොක් ලෙස කතා කිරීමෙන් ඒවා යළි සැකසෙනු ඇත. කණ්ඩායම් කටයුතු, ජනතාව ඉදිරියෙහි පෙනී සිටීම හා කටයුතු කිරීම සඳහා ද ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ද හොඳ කාලයෙකි. අන්‍යයන් සමග සබඳතා සුහද වනු ඇත. 
ඔබ ගැඹුරු අවබෝධයෙන් අනුන්ට උපකාරිවේ. විරුද්ධ ලිංගිකයන් සමග සුහද ප්‍රයෝජනවත් හා ආශ්වාදනීය සබඳතා ගොඩනැගෙනු ඇත. ඔවුන්ද සමාන ප්‍රතිචාර දක්වනු ඇත. මිතුරන්, විරුද්ධ ලිංගිකයන් හා පොදු කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ඇති වේ. ඇඳුම් පැලඳුම් හා වස්ත්‍ර ලැබේ. ශරීර සනීපය ඉතා හොඳ වේ. දේව භක්තිය ද වැඩි වේ. ගුරුවරුන් බැලීමට යාමට සිතෙයි. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ඔබ තුළ ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇතිවේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වැඩකටයුතු දියුණු වේ. තමා නියැලෙන කෘෂි කටයුතුවලින් ගොවිතැනින් ලාභ ලැබේ. ආදායම ද වැඩි වේ. ගෙදර දොර වාසනාව ඇතිවීමද නියමයි. 
 
සිංහ ලග්නය
උපකාර හා ලාබ ප්‍රයෝජන
 
මෙම මස මුල් සති දෙක තුළ අදහස් හුවමාරු, කතා බහ ලිපි හෝ දුරකථන ඇමතුම් ඔස්සේ අන්‍යයන් දක්වන ප්‍රතික්‍රියා නිසා ඔබ කලබලයට අවුලට පත්විය හැක. ඔබ මෙම තත්ත්වයෙහිදී නම්‍යශීලීව සිටීමෙන් මෙමගින් ඇතිකරන සිත්තැවුල් හා කලබගෑනි ජයගත හැකි වනු ඇත. ව්‍යාපාර සඳහා ඇතිකර ගන්නා සම්මුති ගිවිසුම් හා එකඟතා ඉටු නොවිය හැකි බැවින් ඒවාට එළඹිය යුත්තේ සුපරීක්ෂාකාරීවය. 
 
වැරදි අවබෝධය සහ සැක සහිත ස්වභාව මග හරවනු පිණිස හුදකලා වීමට උත්සාහ කරන්න. කීමට ඇති දෙය කරුණට අදාළව පවසන්න. කතාව අදහස් හුවමාරුව හා හැඟීම් එකට මිශ්‍ර වී පටලැවී යා හැකි බැවින්, ඒ ගැන විශේෂයෙන් පරික්ෂාකාරී වන්න. විරුද්ධ ලිංගිකයන් විශේෂයෙන් ස්ත්‍රීන් සමග කතා බහේදී ඔබ මෙම සති දෙක තුළ වඩාත් පරික්ෂාකාරී විය යුතුව ඇත. 
 
අවසන් සති දෙකේදී ගෙදර දොර කටයුතු පිළිබඳව ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත. අලංකාර වස්තු ලැබෙන කාලයකි. ස්ත්‍රී සැපද ලැබේ. හිතවතුන් ගෙන් හිතවතියන් ගෙන් උදව් උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන්ට පුළුවන. ආදර බන්ධන වැඩිදියුණු වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද හොඳ හිතවත්කම් පවත්වන්ට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියත්, සමාජයට ප්‍රියවීමත් මේ කාලයෙහි ඇතිවෙන විශේෂ ලක්ෂණයකි. සිත මෙහෙයවා කරන කටයුතු හා සැලසුම් වාසිසහගත වේ. සිත නිරවුල්ව පැහැදිලි නිසා අදහස් හුවමාරුව හා කතා බහ තුළින් ද ප්‍රයෝජන ගතහැක. ව්‍යාපාර සඳහා සම්මුති හෝ ගිවිසුම්වලට ඔබට එළඹිය හැක. ඒවා ඉෂ්ට සිද්ධ වනු ඇත. සාර්ථකව නිම කිරීම සඳහා අලුත් විෂයයන් හැදෑරීම ඇරඹිය හැක. 
 
කන්‍යා ලග්නය
අඹු සැමියන්ට අපල
 
කන්‍යා ලග්නය හිමි ඔබට මෙම මස මුල් සති දෙක එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරන හෙයින්, ඔබගේ අදහස් රැගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුව පැන යාමට හෝ ඒවා ගැන අන්‍යයන් සමග වාද විවාදයට හෝ නොයන්න. එයින් ඔබේ සිත පීඩාවට හා කලබලයට පත්ව අන්‍යයන් සමග සබඳතා දුරස්ථ විය හැකි බැවිනි. ඔබේ කටයුතු කෙරෙහි පරීක්ෂාකාරී වන්න. කොන්ත්‍රාත් සහ ගිවිසුම් සඳහා සතුටුදායක නොවේ. 
 
විවාහ වූ අයට නම් භාර්යාවට හෝ ස්වාමියාට අපල කාලයකි. කරදර සහිතය. ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ අනතුරක් පවා සිදුවේ. ස්ත්‍රීන් සමග අවුල් ද පැන නගී. ලාභ ප්‍රයෝජන ද මේ අතරට ලැබෙනවා ඇත. ගෙදර දොර අවාසනාවන්ත කම් මතු නොකර ගන්නටත් ඔබ වගබලා ගන්න. ගෙදර අය අතර සමාදානය අඩුවේ. පහත් අය අතර ආශ්‍රයට වැටේ. කෙසේ වෙතත් අවසන් සති දෙක බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග අන්‍යයන් සමග සැලැසුම් කිරීමට සුදුසුය. අනුරාගය ද බුද්ධිය ද එකට සංයුක්ත වීමෙන් සෞන්දර්යය, චිත්‍ර , සංගීතය හෝ කවිය පිළිබඳ උනන්දුවක් ප්‍රබෝධයක් ඔබ තුළ මෙහිදී ඇති කරයි. බුද්ධිමතුන් සමග කතා බහ කිරීම හා ඒ අය වෙතින් ඉගෙනීම ප්‍රයෝජනවත් වනු ඇත. ඔවුන් ඔබගේ අදහස් හුවමාරුව වඩාත් හොඳින් තේරුම් ගනු ඇත. මුදල්මය හා ව්‍යාපාරික කටයුතු සතුටුදායක විය නොහැකි නිසා ගනුදෙනු කටයුතු හා විකිණීම් මිලට ගැනීම් වැනි කාරණාවල දී පරිස්සම්සහගත වන්න. 
 
තුලා ලග්නය
ප්‍රිය සාද හා සුහදහමු
 
රවිගේ ගමන සුබදායක නොවන නිසා ණය ගනුදෙනුවලදීත් සිත්තැවුල් හා භය ඇති වේ. වියදම් අධික වේ. ආරවුල් සහිතය. පවුලේ අයගේ අසනීපාදියට වෙහෙසෙන්ට ද සිදුවේ. නඩු හබවලින් බේරෙන්ට වැඩ කිරීම සඳහා නීතියේ ලියකියවිලිවලට බලපත්‍රවලට අත්සන් තබන්ට සිදුවේ. සතුරන් ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ධන හානිද ඇති වේ. දුක් විපත් ඇතිකළ හැකියි. ස්ත්‍රීන් නිසා සිත් අසතුටක් ඇති වේ. බලාපොරොත්තු රහිත වියදම් දරන්ට සිදු වේ. අසනීපයක් වැලඳුණහොත් ඉතා අමාරු වේ. 
 
කලහකාරීත්වය කලබැගෑනිය ප්‍රකෝපය ඇති කරමින් අනුරාගය හා බුද්ධිය එකිනෙක විරුද්ධ වනු ඇත. කතා බහ හා ලිපි කටයුතු තුළින් පුද්ගල සබඳතා අවුල් වේ. අන්‍යයන් සමග අවුල් හා ආරාවුල් සිදුවිය හැක. එහෙත් ඔබ නම්‍යශීලීව හැඩ ගැසෙමින් සංයමයෙන් යුතුව කටයුතු කළහොත් ඔබට ඒ සඳහා වැඩි යහපත් ප්‍රතිලාභ හිමිවනු ඇත. අප්‍රසන්න කතාබහ සංවාද නන් දෙඩවිලි හා අඥාන වල් පල් ඕපාදූපයෙන් වළකින්න. ඒ තුළින් මෙම කාලය තුළ ගෙනෙන බොහෝ අහිතකර බලපෑම් තමන්ගේ හිත සුව පිණිස සකසා ගත හැකිවේ. කැලඹුණු සිතින් කෝපයට පත් වියහැකි අතරම කලබලය දුරදිග නොවිමසා ඉක්මන් තීරණ ගැනීම ආදියෙන් වැළකිය යුතුව ඇත. 
 
බොහෝවිට මෙම මාසයේදී ඔබගේ සිත ශාන්ත නිසල මැදිහත් බවෙන් තොර නිසා සිත මෙහෙයවා කිසිත් කිරීමට නොහැකි වේ. සමාජ එකතු ප්‍රිය සාද හා සුහදහමු ගුණවතුන් හා කලාකාමීන් ඇසුර ආදිය තුළින් වඩාත් ප්‍රයෝජන සැලසෙනු ඇත. උපායශීලී නොවීම අනුකම්පා තොරවීම අධිසංවේදීතාව, ගුණදොස් දැක්වීම විවේචන ආදී පැවැත්ම අවාසි සහිත වනු ඇත. ව්‍යාපාර කටයුතු හා පෙම් බැඳුම්වල විරුද්ධතා හා එකඟ නොවීම් පවා  ඇති විය හැකි මාසයක් බැවින් අවබෝධයෙන් අවධානයෙන් කාර්යය කටයුතුවල නියුතු වන්න. 
 
වෘශ්චික ලග්නය
සැලකිලි හා ප්‍රශංසා
 
මෙම මස මුල් සති දෙක ගතට සිතට සැපත සතුට ගොඩනැගෙන අයුරින් ගතවෙයි. අනුන් ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුවද ඇති වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමග ද වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. 
සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. රේස් සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබේ. දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. අලුත් ඥාති මිත්‍රයන් ලැබේ. ධන ලාභද ලැබෙනවා ඇත. සතුරන්ගෙන් කරදර ඇති නොවේ. බලාපොරොත්තු ඉෂ්ට වෙයි. වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ප්‍රශංසා ලැබේ. දුෂ්කර අසීරු ගැටලු ප්‍රශ්න නිරාකරණයට සිත වෙහෙසවීමට හොඳ කාලයෙකි. ඔබගේ අදහස් ප්‍රබල ලෙස එහෙත් සන්සුන් ලෙස ඉදිරිපත් කරන්න. ශරීර නිරෝගීතාව ඇති වේ. ගිවිසුම් අත්සන් කිරීමට යහපත්ය. අරමුණු ඉටු වේ යන විශ්වාසයක් එවිට ඇති වෙනු ඇත.  උද්‍යෝගය, තියුණු සිත, ලිපි හුවමාරුවෙන් ප්‍රයෝජන බුද්ධිමත් පරීක්ෂාකාරී සැලසුම් ඇති කරයි.
 
අවසන් සති දෙක තුළ දී කෝප සහගත, හොස්ස අගින් මැස්සා යන්නට බැරි ස්වභාවයක් ඔබ තුළින්  මතුවෙන නිසා ඉන් මිදෙන්න. ඒ නිසා අදහස් හුවමාරුව කතා බහ කටයුතු කෙරෙහි වහසි පැවැත්මෙන් තොර විය යුතුව ඇත. අරමුණු දිනා ගැනීමට නම් කලබලය හා කෝපය මැඩ ගන්න. අවුල් වියවුල් තරහ ඇති විය හැක. ඒ නිසා කටුක වචන හුවමාරු හා කලබල ගතිය නැති කර ගත යුතුය. රිය පැදවීම, ගිනි ආදිය නිසා අනතුරු සිදු විය හැක. ඒවායින් පරෙස්සම් වෙන්න. 
 
එසේම මෙම දිනවල අවුල් වියවුල්වලට මැදි විය හැකි බැවින් පරෙස්සම් වන්න. අන්‍යයන් නිසා කලහකාරී වීමට පෙලඹිය හැකි බැවින් ඒ කෙරෙහි විමසිලිමත් වන්න. ගමන් නිසා අනතුරු පිලිස්සීම් ආදියට ඉඩ ඇත. ගැටුම් ආරවුල් මග හැරීම සඳහා විවේචනයෙන් බැහැර වෙන්න. 
 
ධනු ලග්නය
දොම්නස් හැඟීම් මතුවෙයි
 
ඔබට ද මෙම මස මුල් සති දෙක සුබදායක බවක් පෙන්නුම් නොකරන නිසා, අනවශ්‍ය දෙයින් ඈත්ව අවශ්‍යතාවයට මුල්තැන දී කටයුතු කරන්න. ඔබ කෙරෙහි මහත් බලපෑමක් සහිත අයෙකුගේ වෙන්වීමක් මෙයින් දැක්වේ. සෑම දෙයක ම අගුණ අශුභ පැත්ත දැකීමෙන් සිත නිදහස් කරගත යුතුය. සියලු දෙය නිවැරදිව පිළිවෙළට සැලසුම් කරන්න. 
 
එහෙත් විශාල සැලසුම් සම්පාදනයට මෙය සුදුසු කාලයක් නොවේ. සිතෙහි පටු ගති අදහස් බලපවත්වනු ඇත. අදහස් හුවමාරුවට ලිපි ගනුදෙනුවට සුදුසු කාලයක් නොවේ. කතාව හික්මවා ගන්න. අඳුරු උදාසීන දොම්නස් ගති මඟ හරින්න. රැවටීම් ප්‍රයෝගයට සිත නැඹුරු වී දුරාචාර පැවැත්මට ඇබ්බැහි විය හැක. කනස්සල්ල උදාසීනතාව පිරිහුණු දොම්නස් හැඟීම් ඇති වේ. විවෘත සතුරන්ද, ආරවුල්ද මෙම දිනයන්හි මතුවී එන ස්වභාවයක් දැක්වේ. අඹු සැමියන් හා ළබැඳියන් අතර ඍජු ගැටුම් මෙමගින්  පෙන්නුම් කරයි. වෙෙළඳාමෙහි දී හවුල්කාරකම් නිසා ගැටලු ඇති විය හැක. ආරවුල් වැළකීම සඳහා ඔබ මත අනුන් ඇති කරන බලපෑම් විඳ දරා ගැනීමට සිදුවේ. 
 
මෙම මස අවසන් සති දෙක සියලු වාණිජ හා ව්‍යාපාරික කටයුතු ද ආයෝජන කටයුතු සඳහා ද යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේය. අදහස් හුවමාරු සංවාද පිළිසඳර හා අනුන් සමග කරන කටයුතු සඳහා යහපත්ය. කවර දෙයක් ගැන වුවද වැඩි උනන්දුව හා දැඩි විශ්වාසය නොතබන්න. සිතුම් පැතුම් සපුරා ගත හැක. සමාජ කටයුතු වැඩි දියුණු වී ජීවිතය පියකරු වනු ඇත. සාමකාමී අනුන්ට සවන් දෙන හා උපකාරී වන මානසික ගුණය ඔබ කෙරෙන් ගොඩනැගෙනු ඇත. විරුද්ධවාදීන් සමග සමගියෙන් එකඟතාවෙන් පසුවේ. කණ්ඩායම් සමග වැඩ කිරීම හිතකර වනු ඇත. නැටුමට, සංගීතයට හා සුවඳ විලවුන් සඳහා බොහෝ ඇලුම් කරනු ඇත. උසස් සිතුවිලි හා සැලසුම් ඇති වේ. 
 
මකර ලග්නය
වාද විවාදවලට නොයන්න
 
ඔබගේ ලග්නය පරිදි සූර්යය ගමන සුබා සුබ මිශ්‍ර අයුරින් ගතවන නිසා ඔබගේ දිවියේ දෛනික කාර්යය කටයුතු කෙරෙන් ද මෙම මාසය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සැටියක් පෙන්නුම් කරයි. එනිසා ඔබ මෙම මස තුළ ගන්න නිගමන හා තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. වාද විවාද වලට තුඩු දෙන අදහස් හුවමාරු හා සාකච්ඡා වැනි දෙයට සම්බන්ධ නොවන්න. 
 
කෙසේ වෙතත් ඔබට මෙම මාසය තුළ තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. කෙසේ නමුත් ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිෂ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ.
 
මෙම කාලය තුළ ඔබගේ සිතිවිලි කල්පනා හා හැඟීම් මිශ්‍ර වී පවතිමින් සමහර අවස්ථාවල පුදුම තත්ත්ව ඇති කළ හැක. කතාවෙහි හා සාකච්ඡාවෙහි කවර කරුණක් ගැන වුවද සිහි කල්පනාවෙන් යුක්තිසහගතව කතා කිරීමට වගබලා ගන්න. ස්ත්‍රීන් සමග කරන ලිපි හුවමාරු ඵලදායී වනු ඇත. ඔබ ප්‍රධාන වශයෙන්ම ඔබගේ පවුලෙහි ගැටලු දුෂ්කරතා මගහරවා ගැනීමට වැඩි යොමුවීමක් කරන්න. වෙළඳ ව්‍යාපාර, ගිවිසුම් සම්මුති කොන්ත්‍රාත් ගමන් බිමන් මිලට ගැනීම් විකිණීම් ආදිය මෙම මාසය අවසන් වන තෙක් කල් දැමීම නුවණට හුරුවේ. 
 
අනුන්ගේ සිත ඔබ කෙරෙහි පහදවා නමා ගැනීම අසීරු බැවින් මෙම කාලයෙහි මිතුරන් හා ප්‍රධානීන් වෙතින් ආධාර උපකාර අනුග්‍රහ බලාපොරොත්තුවීම නොකට යුතුවේ. මේ අතරම ප්‍රීතිමත් හිතවතෙකුගේ හෝ හිතවතියෙකුගේ හෝ ආශ්‍රයක් ඇති වේ. ප්‍රීති උත්සවයන්ට සහභාගිවන්නටත් ලැබේ. සහෝදර සහෝදරයන් තමා ළඟට පැමිණේ. නැතහොත් තමාට ඔවුන් සොයා යාමට සිදුවේ. මිත්‍රයන්ගේ ආශ්‍රය ද උපකාරය ද ලැබේ. එසේම ඔවුන් ගෙන් යම් යම් ලාභ ප්‍රයෝජන ද ලැබේ.
 
කුම්භ ලග්නය
නිර්මාණ ශක්තිය වැඩිවේ
 
ඔබට මෙම මස මුල් සති දෙක සැනසිලිදායක අයුරින් ගතවන අතර වාණිජ හා ව්‍යාපාරික කටයුතු සඳහා දිගුකාලීන සැලැසුම් හා යෝජනා ක්‍රම (ව්‍යාපෘති) ඔබ විසින් සකසාගනී. එසේම මෙය සවිස්තර අනාගත සැලසුම් සැකසීමට හොඳ කාලයෙකි. සිතෙහි නිර්මාණ ශක්තිය වැඩිවේ. 
 
සියලු ව්‍යාපාර කටයුතු සඳහා සතුටුදායක කාලයෙකි. කොන්ත්‍රාත් සම්මුති ගිවිසුම් ලිපි කටයුතු මිලට ගැනීම හා විකිණීම ඔබ තියුණු නුවණින් ඉටුකිරීම මත ලාභ ප්‍රයෝජන අත්වේ. ගමන් බිමන්වලින් සතුට ඇතිවේ. තියුණු පැහැදිලි විමසුම් සිතින් සැලසුම් කිරීම සඳහා යහපත්ය. ජනතාව හා ව්‍යාපාරික පිරිස් සමග කටයුතු කිරීමට හිතකර කාලයකි. වාණිජයමය කටයුතු ගිවිසුම් සම්මුති තුළින් ලාභ ප්‍රයෝජන අත්වේ. එසේම මෙම දින 15 තුළ පවුලේ දියුණුවට කටයුතු සැලසෙයි. ධාන්‍ය වර්ග මල් වර්ග සුවඳ වර්ග මුතු මැණික් රත්රන් ආදියට අයත් ව්‍යාපාරයන්හි නිරතවන්නන්ට ඉන් ලාබ ප්‍රයෝජන සැලසෙයි. 
 
මෙම මස අවසන් සති දෙක ගමන් බිමන්වල යෙදිය යුත්තේ පරෙස්සමෙනි. ඔබ නිවැරදි යයි සිතා මුරණ්ඩු නොවන්න. පමණට වැඩි විශ්වාසය අත්හළ යුතුය. මෙය ඔබගේ ධෛර්යය නසා වනසා දමන කාලයක් වනු ඇත. සැලසුම් ඉටු නොවී ගිවිසුම් සම්මුති මගහැරී යනු ඇත. සිතෙහි සාමය රැක ගැනීමට හෝ කටයුතු සිදුවන වේගය සමග අනුකූල හොඳම දෙය නිස්කලංකයෙන් සිටීමය. ඉක්මන් කලබල තීරණ ගැනීමෙන් හෝ ඉක්මන් කටයුතුවලින් හෝ නොසොයා නොබලා කරන කතාවෙන් හෝ වළකින්න. නැතහොත් ඔබට පසුව පසුතැවීමට කරුණු සිදුවනු ඇත. අනතුරු මගහැරවීම සඳහා රිය පැදවීමේදී පරීක්ෂාකාරී වන්න. සිත අවුලට පත්වී නොසන්සුන් වනු ඇත. එසේම මෙම සතිදෙක ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරයි. ගේ දොර කටයුතු මෙන්ම රැකියාවේ හෝ ව්‍යාපාරික අධ්‍යාපන ආදී කාර්යයන්හි කටයුතු කරගෙන යාමටත් ඉපැයීම් මාර්ග පවත්වගෙන යාමටත් අධික වෙහෙස් දැරීමට සිදුවෙයි.
 
මීන ලග්නය
ප්‍රබෝධමත් සතියක්
 
ඔබට මෙම මස මුල් සති දෙක සැනසිළිදායක වටපිටාවකට හේතු නොයෙදේ. අනෙක් අතට අදහස් හා සිතීම් අවුල් සහිතය. අනුන් සමග කතා බහේදී පරෙස්සම් විය යුතුය. නැතහොත් අනවබෝධය ඇතිවිය හැකි බැවිනි. මිනිසුන් සමග කතාවෙන් නොගැටෙන්න. නීති සම්මුති කොන්ත්‍රාත් හෝ වෙෙළඳ ගිවිසුම් සඳහා සුදුසු කාලයක් නොවේ. 
 
කලබැගෑනි මත ගැටුම් හා අවුල් ආරාවුල් අනුන් සමග ඇති නොවනු පිණිස ඔබේ යුහුසුලු අදහස් හා කතා බහෙන් ද ඉක්මන් තීරණයෙන් ද වළකින්න. ඒත් සමගම මෙම අවදානම් අවස්ථාවෙහි ඔබට උපකාර සඳහා තියුණු සහජ නුවණ ඇති විය හැක. ඒ අනුව වැඩ කරන්න. අලුත් අය හමුවන්න. ඔවුන් ඔබට අලුත් අත්දැකීම් ලබා දෙනු ඇත. මෙහිදී ඔබගේ කටයුතු සඳහා පුහුණුව හික්මීම ඇවැසිවේ. අඩුපාඩු වැරදි නොසිදුවනු සඳහා වැඩ කටයුතු ක්‍රමානුකූලව සිදු කරන්න. පිළිසඳරෙහි දී ගරු සරු ඇතිව කතා බහ කරන්න. නැතහොත් ඔබේ වැඩකටයුතුවලට එමගින් හානි සිදුවනු ඇත. අවසන් සති දෙක ඔබ අවදි සිතින් වඩාත් ප්‍රබෝධවත් වී සිටිනු ඇත. අතීරණ වී නොවිසඳුණු ගැටලු බොහොමයක් ඔබට විසඳා ගැනීමට මෙහිදී හැකි වනු ඇත. සහජ ප්‍රතිභාවෙන් කුළු ගැන්වුණු නව අදහස් ගලා එනු ඇත. බලවත් ඵලදායී පිළිසඳර හා අදහස් හුවමාරු නිසා වාසි සැලසේ. නොසිතූ කතා බහ වැඩදායක අදහස් ඉබේ වටහාගැනීමට නුවණ ඇති වේ. ශරීර ශක්තිය පවතින නිසා වෙහෙසී වැඩ කරමින් බොහෝ දේ ඉටුකර ගැනීමට හැකිවේ. 
 
මනා නිරෝග සුවය ද ආත්ම විශ්වාසය ද ඇත. ඔබේ හැකියා සඳහා නව ඉඩ ප්‍රස්ථා ඇති වේ. එයින් ප්‍රයෝජන ගන්න. එසේම මෙය සම්මුතිවලට එළැඹීමට අනුන් සමග කටයුතු කිරීමට හිත වෙහෙසා කරන දෙයට යහපත් කාලයකි. අදහස් මැනෙවින් ප්‍රකාශ කිරීමට සමත් වේ. ඔබගේ තත්ත්වය පිළිබඳ වෙනත් අයට ඒත්තු යන ලෙස ඔබගේ අදහස් හා මත තිර ලෙස පළ කළ හැකි වේ. ඉගෙනීමට සැලසුම් කිරීමට ලිවීමට හොඳ කාලයකි. විදෙස් ගමන් සඳහා ද ශුභදායකයි.
 
බෙන්තොට
හේමන්ත වීරසිංහ