දහදාහක් ලබාගන්න ලක්‍ෂයක් පාඩු කරගෙන



පෝද්දල සරත් ආනන්ද ගමගේ 



නිවෙසක නාන කාමරයක සවිකරන ලද ප්‍රධාන කරාමය අලු‍ත්වැඩියා කිරීමට පයිප්ප බාස් ඉල්ලූ රුපියල් 10000 මුදල වැඩි යැයි කියා ඒ වැඩේ තමා විසින්ම කර ගන්නට ගොස් රුපියල් ලක්ෂයක පමණ අලාභයක් කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරු පසුගියදා දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
හෙතෙම ඉලක්කම් හයක පඩියක් ගනිමින් සිට මේ මෑතකදී විශ්‍රාම ලැබූවෙකි. විවාහක එකම දියණිය, බෑණා හා මුණුබුරාද ඔවුන් සමග වෙසෙන අතර තවමත් නිවෙසේ පාලකයා මෙම තැනැත්තාය.
 උපන් ගෙයිම පණ්ඩිතයකු වූ ඔහු නොදන්නා දෙයක් ද නැත. හැම වැඩක් පිළිබඳවම යම් හෝ අවබෝධයක්ද තිබෙන ඔහු ළඟ ඕනම වැඩකට අවශ්‍ය ආයුධ කට්ටල්ද තිබේ.
පසුගිය දිනෙක මෙම තැනැත්තා ඉංජිනේරු අංශයට සම්බන්ධ රාජකාරි කරන තැනැත්තකු සිටින අසල්වැසි නිවෙසකට පැමිණ “මල්ලි මට හොඳ පයිප්ප බාස් කෙනෙක් අල්ලලා දෙන්න “යැයි ඉල්ලා ඇත. ඒ කුමකටදැයි විමසීමේදී නාන කාමරයේ ප්‍රධාන කරාමය වැඩ නොකළ නිසා තමා එය ගැලවීමට උත්සාහ කළත් ගැලවීමට නොහැකි නිසා බාස් කෙනෙක් සොයන බවය.
“කරාමය නම් මටත් ගලවලා දෙන්න පුළුවන්”‍ යැයි කියමින් අසල් වැසියා එම නිවෙසට ගොස් බලනවිටදී, ඔහු විසින් එය ගලවන්නට ගොස් ඇතුළතින් කැඩී ගොස් තිබී ඇත. “දැන්නම් අයියෙ මේක ගොඩ දාන්න බාස් කෙනෙක් ඕන”‍මයි කියමින් ඔහු දන්නා අසල්වැසි පයිප්ප බාස් කෙනෙකු කැඳවා ඇත.
ඔහු පැමිණ පවසා ඇත්තේ, බටය සම්පූර්ණයෙන්ම පාදාගෙන අලු‍තෙන්ම කරාමයක් සවිකළ යුතු බවය. ඒ සඳහා ටයිල්වලට හානි නොවෙන්නට බිත්තිය අනිත් පැත්තේ සිට ටයිල් එක දක්වා කැඩිය යුතු බවය. කරාමය මාරුකිරීම සුළු දෙයක් වුණත් මෙය අසීරු රාජකාරියක් නිසා ඒ සඳහා රුපියල් 10.000 ක මුදලක් අය කිරීමට සිදුවන බවත් වැඩිදුරටත් පවසා ඇත.


පයිප්ප බාස් පිටත්කර යවා ඇති ඔහු අසල්වැසි හිතවතාට පවසා ඇත්තේ “මට ආයුධ තියෙන නිසා වැඩේ තනියම කරගන්න පුළුවන්”‍ කියාය.
පසුව ඔහු තනියම වැඩේ පටන්ගෙන ඇත. ග්‍රයින්ඩරේට බිත්ති කැපිය හැකි “කටින් වීල්”‍ එකක් සවිකරගෙන බිත්තිය කපා ඇති ඔහු හෙමිහිට ටයිල් දක්වා බිත්තිය කඩාගෙන පයිප්ප මතු කරගෙන බට කපා අලු‍ත් කරාමයද සවිකරගෙන තිබේ. 
ඒත් පොඩි පරහක් ඉතුරුවී ඇත. පිට පැත්තේ බිත්තිය වන දියණියගේ නිදන කාමරයෙන් බට එළියට පැන තිබීම නිසා එය කපරාරු කිරීමට නොහැකි වී ඇත. බට උඩට ලෑල්ලක් තබා බිත්තියට තදකර බිත්තිය වැසීමට උත්සාහ කිරීමේදී නාන කාමරයේ ටයිල් ටික බිමට කඩාවැටී තිබේ.
“මේ මිනිහගෙ තියෙන කුණුකමට බාත් රූම් එකත් කඩා දැම්මා”‍ යැයි බිරිඳගේ ආඩපාලි මැද්දේ සිදුවූ විපත පිළිබඳව ඔහු අසල්වැසි හිතවතාට පවසා ඇත. ඔහු කියා ඇත්තේ දැන් අර බාස් ගෙන්වාගෙන වැඬේ හරියට කරගන්නා ලෙසයි. දැන් බිත්තිය කඩා ඇති නිසා ඔහු එතරම් මුදලක් අය කරන එකක් නැති බවද පෙන්වාදී ඇති ඔහු බාත් රූම් එකේ තියෙන ජාතියේ ටයිල් කැට වර්ගය සොයාගෙන පසුව හෙමිහිට බාත් රූම් එකද සාදාගතහැකි බවද පෙන්වා දී තිබේ.
පසුව පයිප්ප බාස් ගෙන්වාගෙන වැඬේ නිවැරැදි ලෙස සකසාගෙන ඇති ඔහු , බිරියගේ කන්කරච්චලය විඳ දරා ගනිමින්ම මේ දිනවල කැඩුණු ටයිල් කැට කෑල්ලක්ද රැගෙන ඒ ජාතියේ ටයිල් සොයමින් රටපුරා සැරිසරමින් සිටින බවද ආරංචිය.