දන්සල් හාල් කුස්සියට ගිහින්


කරන්දෙණිය - එම්. සුසිල් පි්‍රයන්ත


ගමේ කොල්ලන් කරන දන්සලට යයි කියමින් මහජන නියෝජිතයකුගෙන් හාල් කිලෝ සියයක් ලබාගෙන ගෘහස්ථ අපූරු දන්සලක් දුන් අයකු පිළිබඳ කතාවක් ගාල්ලෙන් අසන්නට ලැබේ.
ගාල්ලේ මහජන නියෝජිතයෙකි. නම කියූ සැණින් ඕනෑම කෙනකු දන්නා ඔහු ගාල්ලේ ජනතාවට හාල් බෙදුවේ මීට ටික දිනකට පෙරය. මෙහි කතා නායකයා ද ඒ සඳහා සහභාගි වී සිටියේය.
මෙය බලා සිටි ඔහු, මේ මහජන නියෝජිතයාට අපූරු යෝජනාවක් කළේය. ඒ, සිය ගමේ කොල්ලන් පොහොය දවසේ කරන දන්සලට හාල් ටිකක් දුන්නොත් ඔවුන්ගේ ඡන්ද ටික ෂුවර් යයි කියමිනි.


“හාල් කිලෝ කීයක් ඕනෑ ද?” යැයි මහජන නියෝජිතයා අපේ මිනිහාගෙන් ඇසුවේය. “සර්, කිලෝ පනහක් තිබුණාම ඇති” යැයි ඔහු කීවේය. “පනහ මොකක්ද? මම හාල් කිලෝ සීයක්ම දෙන්නම්” කියමින් මේ මහජන නියෝජිතයා ඔහුට හාල් කිලෝ සියයක්ම දුන්නේය. හේ එය සිය මෝටර් රථයේ දමාගෙන ගියේය.
ඔහුගේ ගමේ කෙනකු මේ ළඟදී මේ මහජන නියෝජිතයා හමු වීමට ගියේය. ඒ, අවශ්‍යතාවක් සඳහාය. එහිදී මහජන නියෝජිතයාගේ කාර්යාලයේ සේවය කරන අය මොහුගෙන් ආගිය තොරතුරු ඇසුවේය.
ගමේ නම කියූ පමණින් එම සේවකයා අපේ මිනිහාගේ නම කියා, “කොහොමද ඔය අයගේ ගමේ දන්සල හොඳට තිබුණා නේද?” යැයි ඇසුවේය. “අපේ ලොක්කා තමයි ඔහේලාගේ ගමේ දන්සලට හාල් දුන්නේ” යයි සේවකයා කී විට, ගමේ එකාට තරු විසි වුණේය.
“අනේ සර්, ගමේ තියා අහල ගම් හතකවත් දන්සලක් තිබුණේ නැහැනේ. අහවලා හාල් ඉල්ලගෙන ගිහිල්ලා කරපු දේ දන්නේ නැහැ. දන්සලක් නම් දුන්නේ නැහැ. ගමේ කොල්ලන්ගේ නම විකුණලා ගත්ත හාල් ඔහුගේ සහ පවුලේ උදවියගේ කුස්සියට ගන්න ඇති.” යැයි ගමේ එකා කීවේය.
“දැනගත්ත එක හොඳයි. මම අල්ල ගන්නම්කෝ මිනිහා.” යැයි සේවකයා කීවේය.
මෙය සැල වූ ඔහු දැන් මේ මහජන නියෝජිතයාගේ මුහුණ බලන්නෙත් හොරෙන් හොරෙන්ලු‍.