තෙල් ටැංකියේ යතුරු කටෙන් කොන්ත්‍රාත්තුව එළිවෙලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අත්‍යවශ්‍ය සේවය සඳහා යයි කියමින් තෙල් ලබා ගන්න පිරවුම්පොළකට ගිය නිලදරුවකුගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණෙන් වාර්තා වෙයි.


මෙම නිලදරුවා පිරවුම් පොළට ගියේ නිල ඇඳුම පිටිනි. රාජකාරිය කරන අතරතුරය. කිසිම ප්‍රශ්නයක් නැතිව පිරවුම් පොළේ පොම්පකරු ඔහුගේ යතුරුපැදියට තෙල් ගැසීමට සූදානම්ය. අවශ්‍ය තෙල් ප්‍රමාණය ඇසුවේය. ඒ අනුව තෙල් ගැසීමට යතුරුපැදියේ ටැංකිය ඇරීමට පොම්පකරු නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය.


නිලදරුවා තමා ආ යතුරුපැදියේ තෙල් ටැංකිය ඇරීමට උත්සාහ කළේය. පළමුවත් එය බැරිවිය. දෙවැනි හා තෙවැනි අවස්ථාද අපතේ ගියේය. ඔහුට බැරි තැන පිරවුම් පොළේ සිටි අයද උත්සාහ කළහ. එය ගගට කැපූ ඉනිමෙන් නිෂ්ඵල වී ගියේය.


 සර් මේ යතුරුපැදියේ අයිතිකාරයාට එන්න කීවා නම් ඕක ගොඩදාගන්න පුළුවන් යැයි එතන සිටි අයකු කීවේ, අනෙත් අයට ඇස් ගසමිනි. කරන්න ආ වැඩේ ද අමතක වූ මේ නිලදරුවා ‘‘හානේ ඔව්නේ’’ කියමින් අතරමග නතර කර දමා ආ හිතවතාට දුරකතන ඇමතුමක් දී පිරවුම් පොළට එන්න කීවේ, හොර හිත අමතක වී එළියට පනිමිනි.


නිලධාරියාගේ හිතවතා පැමිණ එක විනාඩියෙන් තමන්ගේ යතුරුපැදියේ තෙල් ටැංකිය ඇරියේ ගෙවී ඇති යතුර කරකවන රටාවට අනුවය. ඒ සමගම එකා දෙන්නාගේ උසුළු විසුළු මැදින් එතැනින් ලිස්සා ගිය ගමනින් පසු  ඔහු අද වන තුරුම එම පිරවුම් පොළට නොගිය බවද කියති.