තෙල් ගහන්න සල්ලි නැතිව යතුරුපැදිය සේල් එකක දාලා


මාවරල පී.එස්. මද්දුමගේ
ඔහු තැපැල් සේවකයෙකි. විවාහක දෙදරු පියෙකි. දිනපතා තම රාජකාරි කටයුතු සඳහා  කැප වීමකින් කටයුතු කරන මොහුට  රැකියාවෙන් ලැබුණ මුදලින් දරුවන් දෙදෙනා සහ බිරිය නඩත්තු කිරීමේ බර හිස මත තබා ගත් ගැමියෙකි. 


 අමතර ආදායම් මාර්ග නොවූ මොහු ජීවිතය ගෙන ගියේ බොහෝ අසීරුතා මැද්දේය. දරුවන්ට අධ්‍යාපනය සඳහා  විශාල මුදලක් තම පඩි පතින් වෙන් කිරීමට ද මොහුට සිදුව තිබුණි.


තැපැල් ලියුම් බෙදීම සඳහා ඔහුට බාර බීට්ටුව ග්‍රාම නිලධාරී වසම් දෙකකට අයත් එකක් වූ අතර දුෂ්කර මාර්ග පද්ධතියකින් හා කදු ඉඩම් සහිත ගම්මානවලින් ද යුක්තය. රාජකාරි අවශ්‍යතාව මත  දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දසමස් ආපදා ණය මුදලින්  මිතුරකුගේ යතුරු පැදියක් ලබා ගෙන සේවය සඳහා යාම්-ඊම් කළ මොහුට, ඉන්ධන මිල ඉහළ යාම නිසා බලවත් ආර්ථික අපහසුතාවකට මුහුණ දීමට සිදු විය. යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමේ ගැටලුව නිසා  රාජකාරියට  යාමට ඇති පහසුකම් අඩු කිරීමට කුමක් හෝ කළ යුතු බව ඔහුගේ අදහස විය. 


දිනක් රාජකාරියට යතුරු පැදියෙන් ගිය තම ස්වාමිපුරුෂයා  පා පැදියකින්  සවස් වී ගෙදර පැමිණියේය.


තම ස්වාමි පුරුෂයා පාපැදියකින් පැමිණීම නිසා කලබලයට පත් වූ බිරිද,   ඉතාම සෝකී ස්වරයකින්  “ඇයි මහත්තයා පාපැදියකින් ආවෙ. මගදි කරදරයක්වත් වුණාද? ඇක්සිඩන්ට් එකක්වත්ද? අනේ කියන්නකො මොකද වුණේ. යයි අසමින් ස්වාමි පුරුෂයාට කතා කරන්නට නොදී  ප්‍රශ්න කළාය.


 පා පැදිය  නිවෙසේ බිත්තියට  හේත්තු කළ  ස්වාමිපුරුෂයා, සිදු වූ  දේ බිරිඳට පවසනවාද? නැද්ද? යන දෙගඩියාවෙන් මොහොතක් නිහඬව සිට හඬ අවදි කළාය.“හාමිනේ ! මම මෝටර් සයිකලය විකුණන්න  බයිසිකල් කඩේ ප්‍රදර්ශනයට තියලා මේ බයිසිකලෙන් ආවෙ.

මේ බයිසිකලයත් යාළුවකුගෙන් ඉල්ල ගත්ත එකක්. පඩියෙ හැටියට, ජීවත්වෙන්න මුදල් නැති කාලෙ මෝටර් සයිකලයට තෙල් ගහන්න සල්ලි කොහෙන්ද? බයිසිකලේට තෙල් ගැහුවොත් කන්න අඳින්න, පොඩි ඈයොන්ගෙ වියදමට සල්ලි  මදි වෙනවා. මම දුක් විඳගෙන  පයින් හරි ගිහින් රක්ෂාව කරනව කියල හිතල තමයි මෝටර් සයිකලය විකුණන්න දැම්මෙ. තව ඉස්සරහට මීට වැඩිය රට  බංකොළොත් වෙනව කියල  ඔය  ලොකු ලොකු අය කියන්නෙ. ඉතින් අපි  ඒවට මුහුණ දෙන්න එපාය.’’


 බිරිය කතාවට හිස සැලු‍වා පමණි. ඉන් එහාට කිසිවක්  කීමට  නොගියාය. මේ අතර පහේ පන්තියේ ඉගෙන ගන්නා වැඩිමහල් පිරිමි දරුවා පැමිණ“ අනේ තාත්තෙ මම ලොකු වුණාම පදින්න කියල කිව්ව මෝටර් සයිකලේ ඇයි විකුණන්න දැම්මේ,,. යැයි අසා දෙනෙත කඳුළින් බර කර ගත්තේය.