තුවාලයෙන් ගාන කඩාගෙන රෙදි ගැලවිලා



කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සුළු තුවාලයකින් මහා ධනස් කන්දයක් කඩා ගන්න ගොස් රෙදි ගැලවී ගිය අයකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හේ තරමක් ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඒ නිසාම ඕනෑම අයෙක් දන්නා කෙනකු වූවේය. වැඩිමනත්ම ආශ්‍රය කළේ බල ප්‍රදේශයේ විහාරස්ථානවල නාහිමිවරුන්ය. ඒ වාසියටය. බඩගින්නක් සෑදුණු සෑමවිටම දුවන්නේ පන්සලකටය. මොකක් හෝ කතාවක් නායක හාමුදුරුවන් සමග ඇඳගෙන ඒ ඒ අවස්ථාවේ හැටියට කාබී ඒම ඔහුගේ පුරුද්දක්වී තිබුණේය.
පාදයේ අමාරුවක් ඔහුට සෑදුණේ මේ අතරය. කකුල ඉදිමීම නිසා ඔහුට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරු උපදෙස් දුන්හ. ඒ අනුව ඔහුට රෝහලේ නතරවීමට සිදුවිය. එසේ ඉන්නා අතරම ඔහුගේ ටිකිරි මොළේට අපූරු අදහසක් ආවේය. ඒ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමටය. ඔහු ඒ සඳහා තමාගේම වයසට සරිලන මිතුරෙකුගේ සහාය පැතුවේය.
විහාරස්ථානවල නාහිමිවරුන් ඇතුළු ප්‍රදේශයේ යමක් කමක් ඇති අය ඔහු බැලීමට පැමිණියේ රොද බැඳගෙනය. ආ හැම කෙනෙක්ම ඔහුට කෑම බීමද ගෙන ආහ. ඒ විතරක්ම නොවේ ඔවුහු ලියුම් කවරද දුන්නෝය. සමහරු මොනරු එක දෙක දුන්හ. තවත් සමහරු ඔහුගේ බැංකු ගිණුම් අංකය ඉල්ලාගෙන එයට මුදල් දැමූහ.


ඔහුගේ රෝගය සුව විය. රෝහලෙන් ඔහුට නිවසට යාමට අවසර ලැබිණ. එහෙත් ඔහුගේ සූදානම තවත් දවස් කිහිපයක් එහි ගත කිරීමටය. වෛද්‍යවරුන්  ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට ද මේ කාරණය ඉවෙන් මෙන් දැනුනෝය. අවසානයේදී අකමැත්තෙන් වුවත් ඔහුට රෝහලෙන් නිවසට යාමට සිදුවිය.
රෝහලේදී ඔහුට ලියුම් කවර ලබා ගැනීම සඳහා පාර කැපුණු මිතුරාට ලබාදෙනවා යයි කියූ මුදල තියා එක රුපියලක්වත් ඔහු ලබා නොදුන්නේය. මේ නිසා මිනිහා සිටියේ ඔහු සමග කෝපයෙනි. බලන්න මට මිනිහා කිව්වා වටේටම කියන්න කියලා ඔහු රෝහලේ නැවතිලා බලන්න යන්න කියන්න කියලා. මට ලැබෙන ගානෙන් තුනෙන් එකක් දෙනවා කියලා. නමුත් එක රුපියලක්වත් දුන්නේ නැහැ. කැත වැඩක් මිනිහා කළේ කියමින් ඔහු තවත් මිතුරන් පිරිසකට පැවසීමත් සමග මේ රෝහල් රහස් ගනුදෙනුව දැන් දැන් කිහිපදෙනෙකු අතරට ගිහින්ලු‍.