කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
කකුලේ ඇතිවුණු දරුණු තුවාලයකට බෙහෙත් ගැනීමට ගිය රෝගියකුට දුම් ඇල්ලීම නිසා වෛද්‍යවරයාට “ශුද්ධ ඉංග්‍රීසියෙන්” ඇමතු කතාවක් රජරට පළාතේ රෝහලකින් අසන්නට ලැබුණි.
කතාව සැකෙවින් මෙසේය.
එය උතුරු මැද පළාතට අයත් රජයේ රෝහලකි. තරමක් ග්‍රාමීය පෙදෙසක උප නගරයක මෙම රෝහල පිහිටා ඇත. එදින වයස අවුරුදු හැත්තෑවකට ආසන්න ගැමියෙකුගේ කකුලේ දරුණු තුවාලයක් ඇතිවීම හේතු කොට ගෙන එම වයෝවෘද්ධ තැනැත්තාගේ මුනුබුරෙකු විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන මෙම රෝහල වෙත ඥාතී රෝගියා කඩිමුඩියේ රැගෙන ආවේය.
එම රෝහලේ සේවිකාවන් දෙතුන් දෙනෙකු හරියාකාරව පැවරුණු රාජකාරීයක් නැතිව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය කා දමනු මුනුබුරාට පෙනුණි. වෛද්‍යවරයාද රෝගියෙකු තමන් කරා පැමිණෙනතුරු ජංගම දුරකතනය සමඟ සමීප ඇසුරක් පවත්වමින් සිටිනු දක්නට ලැබුණි.
අප කියන මෙම මුනුබුරා විදේශීය රටක වසර ගණනාවක් ජීවත්ව සිට මීට සතියකට පෙර ලංකාවට පැමිණ සිටි අයෙකි.
ඔහු ජීවත් වූ රටවල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෞරවනීය සේවය මෙනෙහි කරමින් ඔහු ආචාරශීලීව වෛද්‍යවරයා අමතා තම සීයාගේ කකුලේ තුවාලය පිළිබඳ සැල කළේය.
වෛද්‍යවරයා ඔහු දෙස හෝ තුවාලකරුවා දෙස සුළු මොහොතකට වත් නොබලා කොළයක් රැගෙන මොන මොනවාදෝ ලියා ඔහුට දුන්නේය.
ඔහු සීයාද වත්තම් කරගෙන කාර්යාලයෙන් එළියට පැමිණ බෙහෙත් දමන කාමරය යැයි සටහන් කර තිබූ ස්ථානයක වාඩිවිය. එකෙනෙහිම එම ස්ථානයට වෙනත් රෝගී කාන්තාවක් රෙද්දකින් හිස වසාගෙන පැමිණ සිටියාය.
සීයා වේදනාවෙන් කෙඳිරිගාමින් තම කකුල අතගාන්නට පටන් ගත්තේය. රෝහල් සේවිකාවක් හෝ සේවකයෙක් පෙනෙන්නට නොසිටි බැවින් මුනුබුරා රෝහලේ විපරමින් ඔබමොබ ඇවිද්දේය.
මඳ වේලාවකට පසු මුනුබුරා නැවත සීයා කරා පැමිණෙන විට සීයා පෙනෙන්නට නොසිටියේය. ඔහු කාමර කීපයකට එබිකම් කර බලන විට එක කාමරයක් තුළ සීයාගේ මුහුණට දුම් අල්ලන යන්ත්‍රයක් සවිකොට ඔහුට දුම් අල්ලමින් සිටිනු දුටු මුනුබුරා මහත් සේ කලබලයට පත් වී වහාම එම ක්‍රියාව නතර කරන ලෙස සේවිකාවට පැවසීය.
සේවිකාව කොළය පෙන්වා “මේක ඩොක්ටර් තමයි ලියලා තියෙන්නේ” කීවාය.
අසූ හාරදාහට තද වුණු මුණුබුරා වෛද්‍යවරයාගේ කාමරයට කඩා පැන්නේය. සිංහලෙන් ඇමතීම පසෙක තැබූ මුනුබුරා “ශූද්ධ ඉංග්‍රීසියෙන්” වෛද්‍යවරයා ඇමතීය.
මුනුබුරාගෙන් සමාව ඉල්ලූ වෛද්‍යවරයා දුම් ඇල්ලීමේ ක්‍රියාව වහාම නතර කිරීමට උපදෙස් දී සීයාගේ තුවාලයට යහමින් බෙහෙත් කර එව්වාලු.
දැන් ගම්පළාතේ උදවිය සීයා දකින විට “සීයේ දුම් ටිකක් අල්ලමුද” යනුවෙන් අසන බවත්, එවිට සීයා “දුම් නෙවෙයි, අල්ලපියව් මගේ” යනුවෙන් පවසන බවද දැනගන්නට ලැබුණි.

