තැනට ඔබින නුවණින් පොලිස් කනෙන් රිංගලා


හසලක සුනිල් ඒකනායක


හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරන විට පොලිසියට හසුවීමෙන් තැනට සුදුසු නුවණ පාවිච්චි කළ නිසා එම වරදින් නිදහස් වී දඩයකින් බේරි යෑමට හැකි වූ බව පැදිකරු ගමේ කඩේදී පැවැසුවේ මහත් උජාරුවෙනි.
තිස් හතරහැවිරිදි වියේ පසු වෙන ඔහු ගමේ කොයි කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ නිතර කවටකම් කරන තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් කටයුතු කරන අයෙකු ලෙසිනි. මෙදින ඔහු හදිසි අවශ්‍යතාවයකට නිවසින් පිටත්ව සිය යතුරු පැදියේ නැගී හසලක නගරය බලා ගියේ හිස් වැසුම රහිතවය. එය ඔහුට වූ අමතක වීමකි. නගරය බලා යතුරු පැදියෙන් වේගයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ ඉදිරියේ තිබූ මාර්ග බාධකයේදී ඔහුගේ යතුරු පැදිය පොලිස් අණින් නැවතුණි. 


“ඇයි සර්” යැයි යතුරු පැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාගෙන් ඔහු විමසුවේ තමන් රථවාහන වැරැද්දක් නොකළ නිසාවෙනි.” තමුන් කොහෙද මේ කඩාගෙන බිදගෙන යන්නේ. කෝ තමුන්ගේ හිස් වැසුම. ගන්නවා රියදුරු බලපත‍්‍රය.” ඒ වදනත් සමගම ඔහුට තරු පෙනුණි. ඒ සැනින් හිස අත ගෑ ඔහුට තමන්ගේ හිස් වැසුම නොමැති බව වැටුහුණි.  ක්ෂණයකින් ඔහුට පහළ වූයේ තැනට සුදුසු නුවණකි. “අනේ සර් හරි වැඩේනේ වුණේ. මම අහවල් කඩේ ළඟ බයිසිකලය නතර කරලා කඩේට ගිහිල්ලා තේ එකක් බිලා ආපසු එන ටිකට මගේ රුපියල් 4000/-ක් විතර වටින අලුත්ම හිස් වැසුම හොරකම් කරගෙන ගිහිල්ලනේ. මම ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න යන ගමන් කලබලේට මට වෙනත් හිස් වැසුමක් වත් ඉල්ලාගෙන දාගෙන එන්න බැරි වුණා. අනේ මට සමාවෙන්න සර්. මම පැමිණිල්ල දාන්න ඉක්මනට යන්නම්. නැතිනම් මගේ හෙල්මට් එක හොයා ගන්න බැරි වෙයි.” යැයි බැගෑපත්ව නිලධාරියාගෙන් කාරුණික ඉල්ලිමක් කළේය.” හා එහෙනම් ඉක්මනට ගිහිල්ලා පැමිණිල්ල දානවකෝ. හැබැයි රජෝ ආයේ නම් හිස් වැසුම නැතිව ගමන් කරලා අහු වෙන්න එපා.” යැයි නිලධාරි මහතා පැවසුවෙන් ඔහු වහා එතැනින් නික්ම තම අවශ්‍යතාවය ඉටුකරගෙන වෙනත් මාර්ගයකින් නිවස බලා පියඹා ගොස් සිද්ධිය කඩේ හිතවතුන්ට පැවසුවේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හින්දා රුපියල් 2500/ක දඩයකින් බේරුණා. යැයි කියාය.