තාත්තාගේ මළ ගමට යන්න රූපලාවන්‍යාගාරයකට ගිහින්


(ජේ.ඒ.එල්.ජයසිංහ)
ඇය හසලක ප්‍රදේශයේ තරුණ කතකි. විදේශීය  රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හදිසියේම ලංකාවට පැමිණියේ තම පවුලේ සමීපතම ලේ ඥාතියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමටය.


කටුනායක ගුවන් තොටුපළින් බැස තම ගම් ප්‍රදේශයවූ හසලකට යෑමට ඇය වාහනයකින් ගුවන් තොටුපළේ සිට පිටත්ව ආවේ මහනුවර දෙසටය. මහනුවර නගරයට ආසන්න කුඩා නගරයක වාහනය නැවැත්වූ මෙම තරුණ කත හදිසියේ පැමිණියේ නගරයේ ස්ථානයක තිබූ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකටය.
ඇය  රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු රූපලාවන්‍ය ශිල්පිනියට කතාකොට නංගී මට ඉක්මනට පේෂල් එකක් දාලා, හෙයාර් ස්ටයිල් එකක් කරන්නැයි පැවසුවාය. මුදල කීය වුනත් කමක් නැහැ මගේ වැඬේ ඉක්මනට කර දෙන්නැයි ඇය රූපලාවන්‍ය ශිල්පිනියට ඇවිලිටි කළාය. බැලූ බැල්මට විදේශීය රටක සිට පැමිණෙන කාන්තාවක් බව දැනගත් රූපලාවන්‍ය ශිල්පිනිය අක්කා ඇයි හදිසි මේක හොඳට කරන්න ඕනේ. ඔයා කොහේ ඉඳලද ආවේ. කොහේද යන්නේ යැයි කාන්තාවගෙන් විමසුවාය.


එවිට එම කාන්තාව පිළිතුරු දුන්නේ මෙසේය. මම එන්නේ අහවල් රටේ ඉඳලා. හරිම ටයඞ් නංගී. මට මළ ගෙදරක යන්න තියෙනවා. එහේට හොඳට යන්න එපායැ. ඒ නිසා හෙයාර් ස්ටයිල් එකයි පේෂල් එකයි හොඳට කරන්න.


රූපලාවන්‍ය ශිල්පිනිය මවිත වුවත් ඒ පිළිබඳව තම සේවා දායිකාවට නොපෙන්වා  අක්කා කාගෙද මළ ගෙදර යැයි කාන්තාවගෙන් විමසීමක් කළාය.


 එවිට කාන්තාව එක්වරම රූපලාවන්‍ය ශිල්පිනියට පිළිතුරු දෙමින් “නංගී මගේ තාත්තා මැරිලා ඉන්නේ එයාගෙ මළගෙදරටයි මේ යන්නෙ” යැයි පැවසුවාය. රූපලාවන්‍ය ශිල්පිනිය පුදුමයට පත් වුවාය. ඇය යළිත් තම සේවාදායිකාව අමතා “අනේ අක්කේ ඔයාට දුක නැද්ද.. මැරිලා ඉන්නේ ඔයාගේ තාත්තා නේදැයි විමසුවාය.