තරුණියගේ සාරි කටුව බසයේදී නැතිවී ජංජාලයක්


බස් රථය ගල්කිස්සේය. ඒ වනවිටත් කිටි කිටියේ සෙනගය. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරීතිබිණි. ආසන දෙකක ඇඳි දෙකක් අල්ලාගෙන සිටගෙන සිටි මැදිවියේ පිරිමියෙකි. ඔහු කවුළු අතරින් ඉවත බලාගෙන යයි. කුමක්දෝ වෙනසක් දැනී මද වෙලාවකින් ඔහු පසුපස හැරී බැලූවේය. තරුණියක් ඔහුගේ පිටුපසින් හිටගෙන සිටි අතර ඉගටිය ප‍්‍රදේශය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය තම ඉදිරිපසින් සිටි පුද්ගලයා අමතා මෙසේ කිව්වාය. අනේ කරුණා කරලා මට උදව්වක් කරන්න. ඔහු නැවතත් පිටුපස හැරී බැලූවේය. මගේ සාරියට ගහලා තිබුණු කටුව ගැලවිලා වැටුණා. මට ටිකක් වාඩි වෙන්න ඉල්ලා දෙන්න පුළුවන්ද? තරුණියට සිදුවී ඇති අකරතැබ්බය ඔහුට තේරුම් ගියේය. ඔහු ඒ අසල වාඩිවී සිටි අයෙකුට යමක් කණට කොට කීවේය. ඔහුද ඉද්ද ගැසුවාක් මෙන් නැගිට තරුණියට ආසනය පරිත්‍යාග කළේය. සැණින් තරුණියද සාරිය ගුලියක් සේ අතින් අල්ලාගෙන වාඩි වූවාය. දැන් ඔයා බහින්නේ කොහොමද? කටුව මෙතන වැටුණේ. හොයා ගත්තනම් හරි. එසේ කියූ ඇය බිමට නැමී සෙරෙප්පු සපත්තු කුඩ බෑග් අතරින් කටුව සොයන්න වුවාය. මේ අතර ඇයට ආසනය දුන් තරුණයා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගියේය. රියැදුරුට යමක් කීවේය. යළිත් දොරටුව අසලට පැමිණියේය. මදවෙලාවකින් බසය නතර කැරිණි. හරි යං. හඬක් ඇසුනි. නැවත සෙනග අතරින් තරුණිය අසලට පැමිණියේය. නංගී ආ. ඔයාට අවශ්‍ය තැනකට ඔය කටුව ගහගන්න. මේ බසයේ කටුවක් තියා රේක්කයක් වැටුනත් හොයන්න පුළුවන්ද....මේ ඉන්න සෙනඟත් එක්ක.