ණයකාරයාගේ සල්ලි ණයකාරයාගෙන්ම ඉල්ලා දීලා


(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
යාළුවාගේ ණය ගෙවන්න ණයට සල්ලි දුන් එම යාළුවාගෙන්ම සල්ලි ගත් මිතුරකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය,


ඔහු රැකියාවක් කළ ද එම රැකියාවෙන් ලැබෙන මුදල ඔහුට ප්‍රමාණවත් නොවූයේ ඔහුගේ නාස්තිකාර ජීවිතය නිසාය. ඔහුට පෙම්වතියන් හැම තැනමය. ඊට අමතරව සුරාව සූදුව ඔහුගේ ජීවිතයට බද්ධ වූවකි. පෙම්වතියන්ගේ මනදොල සපුරාලීමට ඔහුට මුදල් නිතර නිතර අවශ්‍ය විය. ඔහු සෑම විටම ඔහුගේ ළඟම මිතුරන්ගෙන් ණයට සල්ලි ඉල්ලා ක්‍රමයෙන් ණය කරුවෙකු වූයේ එලෙසිනි.


කෙසේ වෙතත් මෙලෙස ගත් ණය ඔහුට කළමනාකරණය කර ගැනීමට නොහැකි වූයේ අය පාර්ශවයට වඩා වැය පාර්ශවය ඔහුගේ ළඟම මිතුරා වූ නිසාය. ඔහු බොහෝ මිතුරන්ගෙන් ණය ලබාගෙන සිටි නිසා ඔහුට තවත් ණය ලබා ගැනීමට සිටියේ ද මිතුරන් කිහිප දෙනකු පමණකි. 


මොහු ණය ලබා ගත් එක් මිතුරකු නැවත මුදල් ඉල්ලා සිටි අතර එම මුදල් ලබාදීමට ඔහු අතේ මුදල් නොමැති නිසා ඔහු කල්පනා කළේ මුදල් කෙලෙස ලබා දෙන්නේ ද? කියාය. එම මිතුරා අවස්ථා කිහිපයකම පැමිණ මුදල් නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඔහු එම මුදල් ලබාදීමට දින ලබා දුන්න ද එම දිනවල දී ඔහුට මුදල් ලබාදීමට නොහැකි විය. ඒ නිසාම ඔහු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ හෙයින් ඔහු අන්ත අසරණව ඔහු මුදල් ලබා නොගත් අන්තිම මිතුරා ද සොයා ගොස් මුදල් ඉල්ලා තිබේ. 


ඔහුගේ අසරණභාවය දැක එම මිතුරා ඔහු ණයගත් මිතුරාගෙන්ම ණයට  මුදල් ගෙන මොහුට ලබා දී ඇති අතර ඔහු එම මුදල් ණය ආපසු ඉල්ලා සිටින  මිතුරාට ලබා දී තිබේ.


එම මිතුරන් දෙදෙනා හමු වූ අවස්ථාවක ‘‘එදා සල්ලි ගත්තේ හදිසියකට දැයි’’ විමසූ විට ඔහු මුදල් ලබාගත් කාරණය හා දුන් පුද්ගලයා පිළිබඳව ඇසූ විට ඔහුට දෙවියන් සිහිවී ඇත. 


මගේ සල්ලි මටම දීලා. මම ඒ සල්ලි ගත්තේ ඔයාට හදිස්සියක් කියලා පොලියට. දැන් පොලියත් එක්ක ගෙවපන්කෝ”‍ යැයි කියමින් ඔහු එතනින් පිටව ගොස් ඇත්තේ  මිතුරා අන්දුන් කුන්දුන් කරමිනි.