ණයකාරයන්ගෙන් බේරෙන්න ගහපු ගැටෙන් අනුනවයෙන් බේරිලා


ණය කාරයන්ගෙන් බේරෙන්න යෙදූ උපාය වැරදී ජීවිතය හාස්කමකින් මෙන් බේරුණු අයකු පිළිබඳව අලු‍ත් කතාවක් දකුණේ ගඟක් ආසන්නයේ ගමකින් අසන්නට ලැබේ.
ධීවරයෙකි. ඔරුවෙන් ගඟේ ගොස් මාලු‍ අල්ලා ජීවත් විය. ආදායම පවුල රැකීමට නොසෑහේ. එහෙත් සුරා සූදුවද අඩුවක් නොවීය. ඒ නිසාම ජීවත්වීමටත් අනෙක් දුරාචාර වැඩවලටත් අවැසි මුදල් සොයා ගත්තේ ණයට මුදල් ගෙනය. හතර අතම ණයකාරයන් ඇතිවෙන්න වැඩි කාලයක් ගත නොවීය.
නොගෙවූ ණය මුදල් ඉල්ලා හතර වටේම  ණයකාරයෝ ඔහුගේ නිවස හතර පැත්තෙන්ම වට කළහ. ඒ අවස්ථාවලදී එක එක දේ කියා ඔහු ණයකාරයන් පිටත් කර හැරියේය. මෙය ඔහුට විතරක් නොව අඹුදරුවන්ටද මහත් හිසරදයක් විය. මෙයින් බේරීමට ඔහු දස අතේම කල්පනා කළේය. අලු‍ත් අදහසක් ආවේ එවිටය.
ගමේම ධීවරයෙකු එදා රෑ සිය ධීවර යාත්‍රාවෙන් ගඟට ගියේ මාලු‍ ඇල්ලීමටය. යන අතරතුර ගඟ මැද  ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන අයෙකු දුටුවේ ඔහු ගෙන ගිය විදුලි පන්දම් එළියේ ආධාරයෙනි. මිනිහා හඳුනා ගත්තේය. සිය ධීවර යාත්‍රාව කිට්ටු කර ගඟේ වැටුණු කෙනාව ධීවර යාත්‍රාවට ගොඩකර ගත්තේය. මිනිහා තම ගමේම තම රැහේම එකෙකි. මේ ව්‍යසනය ගැන ධීවරයා ඔහුගෙන් ගතු විමසුවේය.


මම ඔරුවෙන් ගඟට වැටුණා. මගේ ඔරුව ආපු සුළඟට ගහගෙන දියඹට ගියා. මම ගොඩට එන්න පිහිනා ගෙන ආවා. වැස්සත් එක්ක ආපු සුළඟට අධික ශීතලක් දැනුනා. ඒ එක්කම කකුලේ කෙන්ඩ පෙරලුනා. පිහිනන්න බැරුව ගියා යයි ඔහු නොනවත්වාම කියාගෙන ගියේය. එය සත්‍යයක් යයි සිතූ අනෙක් ධීවරයා ඔහුගේ ඔරුව ඒ ආසන්නයේ පාවෙමින් තිබියදී සොයා ගත්තේය. ඔහුගේ ඔරුව පෙරළී නොතිබුණේය. හබලද ඔරුව උඩය. ඔහු ගඟේ වැටී සිටියේ යට කලිසම පිටින්ය.
ඔහුත් නංවාගෙන මේ ධීවරයා ඔරුවත් ඇදගෙන ඔහු ගඟට එන තොටුපොළට ඇරලීමට ගියේය. තොටුපොළේ කඩොල් ගහක අත්තක සූදානම් කළ ඇඳුම් බෑගයකි. මෙතන මොකක් හෝ සිදුව ඇති බව මේ ධීවරයාට තේරුම් ගියේය.
ඔහුගෙන් කටේ දම දමා ඇසුවේ ඒ නිසාය. අනේ යහළුවා කාටවත්ම කියන්න එපා. මම ඔරුවෙන් ගඟට වැටිලා නැතිවුණයි කියලා ණය කාරයන්ට හඟවලා ගමෙන් යන්න ගිහිල්ලා මේ කරදරයෙන් බේරෙන්න ගහපු ගැටයක් මේක. කොහේද ගොඩට පිහිනගෙන එද්දී කකුලේ කොණ්ඩ පෙරලු‍නානේ යයි ද කීවේය. මේ ගැන කටක්වත් අරින්නේ නැහැ යයි කී අනෙක් ධීවරයා පසුදාම ගමම දැනුම්වත් කර තිබුනේලු‍.

 කරන්දෙණිය එම්.සුසිල් පියන්ත