කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
නෝනා කෙනෙකි. ආවේ ජැන්ඩියට හැද පැලඳගෙනය. ඇගේ සුවඳින් රන් ආභරණ ශාලාවම සුගන්දවත් විය. සෙනඟ රැස් කකා පොර කකා රන් ආභරණ තෝරති. සේවකයන්ට ද ඉස්පාසුවක් ද නොවීය.
නෝනා අමාරුවෙන් ලබා ගත්ත පුටුවෙන් වාඩිවුණාය. ඒ ඕස්ට්‍රේලියාවේ ඉඳලා කසාදය සඳහා ලංකාවට එන පුතුගේ විවාහ උත්සවයට දැමීමට රන් මුදුවක් මිලදී ගැනීමටය. කතාව ළඳ බොලඳය. සිත්ගන්නාසුළුය. රූපය මනරම්ය.
මේ නෝනා ආ සැනින්ම රන් ආභරණ අලෙවි සලේ සේවකයන්ගේ විශ්වාසය ද දිනා ගත්තාය. එමෙන්ම ඔවුන්ගේ සිත ද පැහැර ගැනීමට මේ නෝනාට ගියේ මිනිත්තු ගණනකි. ඒ ඇයගේ කතා විලාසයත් කළ උසුළු විසුළුත් නිසාය. මේ නිසාම සේවකයන් ඇය ගැන ඇස යොමු නොකළ තරම්ය.
රන් ආභරණ සාප්පුවේ තියෙන රන් මුදු පෙට්ටි සියල්ලම ඇය ඉදිරිපිටය. එකක් ගලවනවා තවත් එකක් දාගන්නවා මෙය දිගටම ඇය සිදු කළාය. අවසානයේදී ඇයට සරිලන මුදුවක් මේ සාප්පුවේම නොතිබුණාය. ඇය එම අලෙවි සලෙන් පිටව ගියේ එහෙයිනි.
එදාම හවස් වරුවේ මේ රන් ආභරණ අලෙවි සල වසන්න ඔන්න මෙන්න තිබියදී එළියට ගත් රන් ආභරණ පෙට්ටි පරීක්ෂාවට ලක්විය. සාමාන්‍ය සිරිත එයය. එහිදී මුදු දමා තිබූ එක පෙට්ටියක තමාගේ ආයතනයේ නොවන මුදුවක් තිබෙනු සේවකයෝ දුටුවෝය. එහෙත් එම මුදුවේ සිය වෙළෙඳ සලෙන් කුඩාවට මුද්‍රණය කරන ස්ටිකරය ද එහි අලවා තිබිණි. එම මුදුව තවදුරටත් පරීක්ෂා කිරීමේදී එය ඉමිටේෂන් මුදුවක් බවට ද අනාවරණය විය.
මෙය වඩාත්ම තහවුරු කර ගැනීමට එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී එදා උදේ ආ නෝනා මුදු තේරීමට තමාගේ ඇගිල්ලේ තිබී ගලවා මේසය මත දිලිසි දිලිසි තිබූ අලුත් ඉමිටේෂන් මුද්දට රන් ආභරණ අලෙවි සලෙන් රන් මුදුවකට ගසා තිබූ ස්ටිකරය ඉතා සීරුමාරුවට ගලවා එය තමාගේ ඉමිටේෂන් මුදුවේ අලවා එම මුදුව මුදු පෙට්ටියට දමා නියම රන් මුද්ද ඇයගේ ඇඟිල්ලේ දමාගෙන යන දර්ශනයලු.
මෙම කාන්තාව සොයා ගැනීමට රන් ආභරණ සාප්පුවේ පිරිස පොලිසියේ පිහිට පතනවාලු.