ජනතාවට බෙදා දෙන්න දේශපාලකයා දුන් එළවළු මලු ගෝලයා පොළේ තියාගෙන විකුණලා


(වියලු‍ව වාර්තාකරු)
කොරෝනා අවදානම හේතුවෙන් අසරණව සිටින තම බලප‍්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම සඳහා මහජන නියෝජිතයකු ලබාදුන් එළවළු තොගයක් නගරයේ සති පොළක තබා අලෙවි කර සවස් යාමයේ දී ඉතිරි වූ කොටස තම අසල්වැසියන් අතර බෙදා දුන් දේශපාලන ආධාරකරුවකු පිළිබඳ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා වේ.


 සිද්ධිය මෙසේය.


ජනතාවට කිසියම් අපහසුතාවක් ඇති වූ අවස්ථාවලදී ඔවුන්ට පිහිටවීමට ඉදිරිපත් වන හෙතෙම පළාතේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකි.
 මේ වනවිට පැතිර යමින් පවත්නා කොරෝනා ආසාදන තත්ත්වය නිසා අසරණව සිටින තම බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එළවළු බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කළ හෙතෙම, එය පහසු කරගැනීම පිණිස තම ආධාරකරුවන් කීප දෙනකුගේ සහාය ලබා ගත්තේ එම කටයුත්ත සඳහා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ද ඉල්ලා සිටිමිනි.


 ඒ අනුව අවශ්‍ය එළවළු තොග මෙන්ම ප්‍රවාහන පහසුකම් ද සැපයිණි.


වර්ග පහකින් පමණ සමන්විත එළවළු තොගය තම ගම් ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම බාරගත් එක් ආධාරකරුවකු එම කටයුත්ත පසෙක තබා එළවළු තොගය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල තබාගෙන අලෙවි කරන්නට වූවේ තම මඩිය තරකර ගැනීමේ අදහසිනි.
 සවස් වෙද්දී එළවළු තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අලෙවි කළ හෙතෙම, කිසිදු වෙහෙස මහන්සියකින් තොරවම ඉන් සැලකිය යුතු මුදලක් සාක්කුවේ දමාගෙන නිවෙස වෙත පැමිණියේ දේශපාලකයාට හිතින් පින් අනුමෝදන් කරමිනි.


කෙසේ වෙතත් සවස් බාගයේ ඉතුරු වූ එළවළු තොගය ගම් ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් නොවීම නිසා එය අසල්වැසි නිවෙස් කීපයක් වෙත බෙදාදීමට කටයුතු කළේ එය තමුන් විසින්ම කරන පින් කටයුත්තක් බව ඔවුන්ට ඒත්තු ගන්වමිනි.
 එහෙත් දින කීපයක් ගතවෙද්දී සිද්ධිය ගම්වාසීන් අතර පමණක් නොව පෙර කී දේශපාලනඥයාට ද දැනගන්නට ලැබී තිබිණි.