ඡන්ද ප්‍රතිඵලේට මළපැන බිරිඳගේ දතක් ගලවලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


මුල්ම ඡන්ද ප්‍රතිඵලයෙන් නෝනාගේ මුඛයේ දතක් ගැලවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
ඔවුහු මධ්‍යම පාන්තිකයෝය. අගහිඟකමක් නොතිබුණේ කුරුඳුවලට පින්සිදුවන්නටය. ජනාධිපතිවරණය සඳහා දෙන්න දෙමහල්ලා තුළ පැවතියේ දැඩි උනන්දුවකි. එක නිවසේ සිටියත් දෙන්න දෙපැත්තේය. දෙපැත්තම තියුණුය. තමාගේ එක්කෙනා අනිවාර්යයෙන්ම දිනනවා යයි දෙන්නම වාදවූහ. කතාවූහ. ඒ වාදය, කතාව සණ්ඩු සරුවල් දක්වා ගොස් අවසන්වූ අවස්ථා නැත්තේද නොවේ.
විසි එක් වැනිදා රෑ දෙන්න දෙමහල්ලෝ ඡන්දය ඇසීමට සූදානම් වූහ. ඒ නිවසේ රූපවාහිනියෙනි. ඒ එකඟතාවයක් මතය. කවුරු දිනුවත් රණ්ඩු සරුවල් නොවිය යුතු යන්නය. ඒ එකඟතාවයත් සමගම නෝනා රට කජු
බැද්දේත් කඩල තැම්බුවේත් දෙන්න දෙපැත්තක සිටියත් එකට එක්වී ඡන්දය ඇසීමටය. මහත්තයා නම් ඡන්දය ඇසීමට අමුතුම භාණ්ඩයක් කලින්ම ගෙනවිත් අල්මාරිය යට සඟවා තිබුණේය. නෝනා කට ගැස්මක් සාදා දුන්නේ ඔහුට එය පිළිවෙළකට ප්‍රයෝජනයට ගැනීම සඳහාය.


මහත්තයා නෝනා දුන් කටහැස්මත් එක්ක මේ අමුතුම භාණ්ඩය ප්‍රයෝජනයට ගත්තේය. ඒ අඩියෙ අඩිය පොඩියෙන් පොඩියටය. මුල්ම ඡන්දය කීමට ආසන්න වෙද්දී ඔහු සිටියේ පියවි සිහිය නැති වන්න ඔන්න මෙන්නය. හොස්ස ළඟින් මැස්සා ගියත් ඇති තරමටමය. දොඩව දොඩවාය.
මධ්‍යම රාත්‍රියට ආසන්න වෙන්න ඔන්න මෙන්නය. මුල්ම ඡන්ද ප්‍රතිඵලය කීවේ ඔය අස්සේය. ඒ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක්ය. රත්නපුර දිසාවේය. ඒ සමගම නෝනා අත්පුඩි ගසමින් සිය සතුට ප්‍රකාශ කළේ ද ඒ එක්කමය. මුල්ම ඡන්ද ප්‍රතිඵලයෙන් ජය ලැබුණේ ඇයගේ ජොගියාටය. මෙය නොඉවසූ ඔහු තමා ළඟ සිටි ඇයගේ කම්මුල අත ගෑවේය. ජරාස් ගා ඇයගේ මුඛයේ තිබූ දිරා ගිය දතක් ගැලවී ගියේ මුළු කටම බුලත්විටක් හැපූ කලක මෙන් රක්ත වර්ණ කරමිනි. එන පොට හොඳ නැති බව තේරුම් ගිය ඇය යාබද නිවසට පැන ගියේ තවත් ඡන්ද ප්‍රතිඵලයක් තමාට ලැබෙන්න පෙරය.