ඡන්ද ඔට්ටුව පැරදී වළං හෝදන්න වෙලා


මාවරල පී.එස්.මද්දුමගේ


ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක්තරා පවුලක වැඩි හිටි දෙමහල්ලන් දෙදෙනා පක්ෂ දෙකකට ඡන්ද දීම නිසා ජයග්‍රහණය ගැන ගිවිසගත් ඔට්ටුවක් පිළිබඳව අපූරු කථාවක් හදුගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
ඡන්ද දිනයේ ප්‍රතිඵල එකින්නෙක ප්‍රකාශයට පත්වෙද්දී පුරුෂයාගේ පක්ෂය පරාජයට පත් වන බව දැනගත් ස්වාමි පුරුෂයා ඡන්ද ඔට්ටුව ගැන සිතමින් කල්පනාවට වැටුණි. කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල අවසන් වීමෙන් බිරිඳගේ පක්ෂය ජය ගෙන ඇති බව ප්‍රකාශයට පත්වීමත් සමග ස්වාමි පුරුෂයා ඡන්ද ඔට්ටුව අනුව එය ඉටු කිරීමට පියවර ගත්තේය.


මේ අතර අසල නිවසක අයකු මැතිවරණ ප්‍රතිඵල ගැන කතා බහ කිරීමට එම නිවසට පැමිණ, ගෙදර පිරිමි පුද්ගලයා ගැන බිරිඳගෙන් විමසීය. ‘ආ..එයා ඡන්දෙන් පැරදිලා මං එක්ක ඇල්ලූ ඔට්ටුවට වැඩ, යයි කීය. වැඩේ කුමක්ද කියා විමසුවද බිරිඳගෙන් පිළිතුරක් නොලද නිසා ඔහු මිතුරාගේ නම කියා අඩගසමින් නිවස තුළට ඇතුළු විය. මුළුතැන්ගේ දෙසට ගිය අසල් වැසි මිතුරාට නිවැසි මිතුරා දැලි වළං ගොඩක් සෝදමින් සිටින අන්දම දැක ගන්නට හැකි විය.
 “ඈ බන් මොකද අද මේ?, බිරිඳට අසනීපයක්වත්ද?, පුදුම වූ මිතුරා විමසීය.
‘‘නෑ අනේ මම ඡන්ද ඔට්ටුවක් ඇල්ලු‍ව බිරිඳ සමග. එයා දිනුවොත් මම මාසයක් වළං සෝදගෙන උයන පිහන වැඩ ටික කරනව කියල. මම පරාදයි. ඒකයි මේ වැඩ.
මිතුරා සිනාසී බොහොම හොඳයි. කියා සාලයට ගොස් හිඳ ගත්තේය.