අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි
ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
විවාහයෙන් දූ දරු සම්පත්තිය ද ලැබූ ඇය ඔවුන් ආවාහ විවාහ කරදීමෙන් පසුව සැමියා සමඟ යහකල් දිවියෙන් ගත කරන්නේ ගොවිතැනක් බතක් කරගෙනය.
පසුගිය මාස් කන්නයේ ඇය තම අක්කර බාගයක ගෙවත්තෙහි බඩඉරිඟු වගා කළාය. බඩඉරිඟු කරල් මෝරාගෙන එන සමයේ හේනට කඩා වැදුණු වල්අලියකු එක රැයකින් බඩඉරිඟු වගාව කා දැමී ය.
අතමිටේ තිබුණු මුදලින් ආදායමක් උපයාගැනීමට බඩඉරිඟු වගා කළ මේ ගෙවිලියට සිදු වූ පාඩුව ගැන සහනයක් පැතුවේ ගමේ ගොවිකම් නිලධාරියකුගෙනි. ඒ ගැන ඇය ඔහුට කරුණු කීවා ය.
ඇගේ ඉල්ලීම ඉටුකිරීමට ඔහු මෙසේ කීවේය.
‘‘හරි මං උඹට ඔය බඩඉරිඟු අක්කර බාගෙට අක්කරේකම වන්දියක් අරන් දෙන්නම්.”
‘‘ඒ මහත්තයෝ, අර කොහොමද අක්කර බාගෙට අක්කරේක වන්දියක් අරන් දෙන්නෙ.”
‘‘හරි, හරි. මං ඒක බලාගන්නම්. උඹට තියෙන්නෙ ඒකට මට පොඩි චාන්ස් එකක් දෙන්න විතරයි. කවුරුත් නැති වෙලාවක මං ගෙදර පැත්තෙ එන්නම්.”
මේ ගොවි කාන්තාවට කාරණය තේරුම් ගියාය. ඒ ගැන කේන්තියෙන් ඇය ප්‍රාදේශීය නිලධාරියාට වහාම පැමිණිලි කළාය.
දැන් මේ කතාව ගමේ ගොවිතැන් කමිටුවට ද ඉදිරිපත් වී තිබේ. අයුතු යෝජනාව ගැන ගොවිකම් නිලධාරියාට එරෙහිව පියවර ගැනීම ගැන ගමේ කවුරුත් අවධානයෙන් පසුවෙති.