ගිලෙන්න ගිය තරුණයා බේරාගන්න ගියාම හොරයක් අහුවෙලා


(තිහගොඩ උපසේන ලියනගම)

අගනුවර සන්නිවේදනයට සම්බන්ධ ආයතනයක සේවක හිත මිතුරු පිරිසක් පසුගියදා සිංහ රාජ වනාන්තරය බැලීමට ගියේ දෙනියාය ප්‍රදේශයේ හිතවතකු සමඟය.

එහිදී ඉතා අලංකාර ජලාශයක නාමින් සිටි තරුණ පිරිසක් සමඟ හිතවත් වූ ඔවුන් නෑම සඳහා ජලාශයට බැස්සත් තරුණයින් කීවේ තරමක් එහා ගැඹුරු නිසා එහි නොයන ලෙසටය. එහෙත් තම පිහිනීමේ දක්‍ෂතාව ගැන කියූ එක් මිතුරකු තහනම් ප්‍රදේශයට ගිය අතර ඔහු දියේ ගිලෙන අකාරයක් පෙනුණි. වහා ක්‍රියාත්මක වූ තරුණයකු එදෙසට පිහිනා ගොස් ඔහුගේ කෙස් වැටියෙන් අල්ලා ඇද්දේය. ඔහු මවිතයට පත් කරමින් කොණ්ඩය ගැලවී අතට ආවේය. තරුණයා යළිත් අතින් අල්ලා ඔහු ගොඩට ගෙනා අතර හිස අතගා බැලූ යහළුවාට කොණ්ඩය නැති බව පෙනිණි. ලජ්ජාවට පත් ඔහුට යකා නැග්ගේය. තමා බේරාගත් තරුණයා සමග ඔහු අරගලයකට ගියත් සෙසු යහළුවන්ගේ දෝෂාරෝපණය මැද ඔහු නිහඬ විය. මේ යහළුවා කෘත්‍රිම කෙස් කළඹක් පැළඳ සිටි බව මේ වනතුරුම සෙසු යහළුවෝත් දැන සිටියේ නැතිලු.