ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා


දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතානායකයාට ආර්ථික අපහසුකම් නැති බව ප්‍රකාශ වෙන්නේ ඔහු කොන්ත්‍රාත් වැඩවල නිරතව සිටින හෙයිනි. 
සමහර දිනවල හෙතෙම උදෑසන සිටම ඉන්නේ හොඳින්ම සප්පායම්වීමෙනි. එදින වැසි සහිත දිනයක් විය. මෙම දිනයේ අපේ කතානායකයා ගොඩවුයේ නගරයේ තිබෙන සුපිරි වෙළඳසලකටය. ඔහු  සුපිරි වෙළඳසලට ගොඩ වුවත් මිල දී ගැනීමට අවශ්‍ය වූයේ ගිනි පෙට්ටියකි.
ඒ අවස්ථාවේදීත් මෙම පුද්ගලයා හොඳටම සුර්වී සිටි බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ හෝ ගිනි පෙට්ටියක් මෙම සුපිරි වෙළඳසලේ සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඒ ගැන විමසීම සඳහා මුදල් අයකැමි වෙත පිය නැග්ගේය. පසුව මුදල් අයකැමිගෙන් ගිනි පෙට්ටියක් මිලදී ගැනීමට හැකිදැයි අපේ කතානායකයා විමසා ඇත. එවිට මුදල් අයකැමි පවසා ඇත්තේ ගනි පෙට්ටි බණ්ඩලයක් මිලදී ගන්නවා නම් අදාළ රැක් එකේ තිබෙන බවත් එක් ගිනි පෙට්ටියක් මිලදී ගැනීමට නම් මුදල් ගෙවන ස්ථානයෙන් මිලදී ගත හැකි බවත්ය.


ටික වේලාවක් කල්පනා කරමින් සිටි මෙම බොනපාට් මුදල් අයකැමිට පවසා ඇත්තේ එක් ගිනි පෙට්ටියක්  තමාට මිලදී ගැනීමට අවශ්‍ය බවයි. එවිට මුදල් අයකැමි තම කවුන්ටරයේ වූ ගිනි පෙට්ටියක් මෙම අපේ කතානායකයාට ලබාදීමට කටයුතු කළේය. මේ අවස්ථාවේදී ද පදමට සුර්වී සිටි හෙතෙම මුදල් අයකැමිගෙන් විමසා ඇත්තේ මෙම ගිනි පෙට්ටියට කීයක ඩිස්කවුන්ට් එකක් දෙනවාද යන්නයි. එවිට මුදල් අයකැමිට හිනාවක් පැමිණි අතර එක් ගිනි පෙට්ටියක් රුපියල් 10ක් වන බවත් එයට මොන ඩිස්කවුන්ට්  එකක්වත් නොමැති බවත් පවසා ඇත.
එවිට අපේ කතානායකයා පවසා ඇත්තේ තමාට මෙම සුපිරි වෙළෙඳසලේ කළමනාකරු හමුවීමට අවශ්‍ය බවයි. පසුව කෙසේ හෝ කළමනාකාරවරයා ද මෙම ස්ථානයට පැමිණියේය. ඒ අවස්ථාවේ දී අපේ  කතානායකයා කළමනාකාරවයාගෙන්ද විමසා ඇත්තේ ගිනි පෙට්ටියට දෙන ඩිස්කවුන්ට් එක කොපමණ මුදලක්ද යන්නයි. 
තම ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන මෙම සුපිරි වෙළඳසලේ කළමනාකාරවරයා කරුණු අවබෝධ කරගෙන ඩිස්කවුන්ට් එකක් ලෙස තම සාක්කුවේ වූ රුපියල් දෙකේ කාසියක් මෙම පුද්ගලයා වෙත දික් කළේ බොනපාට් ගැන තිබූ පහන් සංවේගය නිසාවෙනි. 

කරාපිටිය ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා