ගායනා අඳෝනාවෙන් ජංජාලයයි



කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



බිරියගේ ගායනා පුහුණුව නිසා පොලිසියෙන් නිවසට පැමිණ බිරියට හා සැමියාට බැණ වැදී ගිය පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය සිය සැමියා යටත් කරගෙන තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වූ අතර සැමියා ඇයගේ මෙම තත්වය ඉවසා ඇත්තේ තම දරු දෙදෙනා හා පවුල් ජීවිතය ගැන සිතාය. 
හොඳ හදවතක් ඇති පුද්ගලයකු ලෙසත් ගමේ කා හටත් ඕනෑම උදව්වක් සිදු කරන නිසාත් ඔහු පිළිබඳව ගෞරවයක් හා ඔහුගේ බිරිඳ කෙරෙහි පිළිකුලක් ගම්වාසීන් විසින් ඇති කරගෙන තිබේ. 
ඔහු පිළිබඳව ඇතැම් පිරිස් අනුකම්පාවෙන් කතා කරනුයේ ඇය සමග ජීවත් වීමේදී ඔහු ඉවසන ඉවසීම නිසාය. කාරුණික හදවතක් ඇති ඔහු කිසි විටෙකවත් සිය බිරිඳට සැර වැර නොවෙයි.
ඉදිරියේදී පවතින අලු‍ත් අවුරුදු උත්සවයක් සඳහා ඇය ගායනා අංශයෙන් ඉදිරිපත් වීමට සූදානම් වී ඇත. ඇය ඒ සඳහා නිවසේ පුහුණු වීම් සිදු කරන්නේ රාත්‍රී කාලයේදීය.


ඇයගේ ගායනාව අමුතුම අමිහිරි තාලයක් වූවද ඔහු එය ඉවසා සිටියේ එය නතර කළහොත් පසුව ඇයගෙන් ලැබෙන ගායනාව අහන් ඉන්නට කොහොමත් බැරි නිසාය. පිටරට ගායිකාවකගේ යටි ගිරියෙන් කෑ ගසන ගායනාවක් ඇය පුහුණු වන අතර ඇය ඒ පිළිබඳව පවසා ඇත්තේ කවුරුත් ඉංග්‍රීසි ගීත ගායනා නොකරන හෙයින් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවය.
රාත්‍රි කාලයේ ඇහෙන අදෝනාව වැරැදියට තේරුම් ගත් අසල්වැසියන් බිරියගේ ක්‍රියා කලාපය ඉවසාගෙන ඉන්න බැරි තැන සැමියා ඇයගේ බෙල්ල මිරිකනවා යැයි සිතා මේ පිළිබඳව පොලිසියට දන්වා ඇත.
පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය අසා කෝප වී ඇයටත් ඔහුටත් බැණවැදී කරන දෙයක් තමන්ට පමණක් සීමා කරන ලෙසත් අසල්වැසියන් වෙත එය කරදරයක් නොවිය යුතු බවත් තරයේ පවසා පිටව ගොස් ඇත. 
පොලිස් නිලධාරීන් යාමට ජිප් රථයේ දොර අරිද්දී තම හිත හොඳ හදවතේ දොර වසා දැමූ ඔහු බිරිඳට හොද හැටි බැණ වැදී ඇත.