දෙකලවාහි පැසක් සවිකරගෙන වරකට ඒ තුළ මිල අධික කිරිපිටි ටින් එක බැගින් වෙළෙඳ සල්වලින් සොරකම් කරන ලද කාන්තාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තාවේ.
අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන තැනකි. දින කිහිපයකට වරක් එම ස්ථානයෙන් මිල අධික කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වේ. රහසිගත කැමරා පද්ධතියක් මේ ආයතනයේ තිබුණත් එයට ද අසු නොවී මෙසේ වටිනා කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වීම එහි කළමණාකාරීත්වය ඇතුළු සේවක සේවිකාවන්ට ද මහත් වූ ප්‍රෙහේලිකාවක් වී තිබිණි.
එම වෙළෙඳ සලේ කිරිපිටි ටින් ගබඩා කර තිබූ ස්ථානය පෙනෙන සේ සේවක සේවිකාවන් යෙදුවද කිරිපිටි ටින් සොරකම් කරන අයෙකු හෝ ඒ පිළිබඳව හෝඩුවාවක්වත් සොයාගැනීමට නොහැකි විය.
මේ අල්ලපනල්ලේ මේ මෑතක දිනයකදී කකුල් පළල් කර කර තම වෙළෙඳ සලෙන් පිටතට යන කාන්තාවක පිළිබඳව දෙඇස් එහි සේවිකාවකගේ නෙත ගැටුණාය. වහාම ක්‍රියාත්මක වූ ඇය තම වෙළෙඳ සලේ කිරිපිටි සොරකම පිළිබඳව මතකයට ආ එම සේවිකාව තවත් සේවිකාවක් සමඟ තම වෙළෙඳ සලෙන් කකුල් පළල් කර කර ගමන් ගන්නා කාන්තාව නතර කරගත්තාය.
ඇයි මොකද මේ මම අල්ලගෙන. මම කළ වරද මොකක්දැයි එම කාන්තාව තමන් අල්ලාගත් සේවිකාවන්ගෙන් ඇසුවාය. අපිට ඔයා ටිකක් පරීක්ෂා කරන්න ඕන. යංකො ටිකක් වෙළෙඳ සලේ ඇතුළට යයි සේවිකාවන් කී විට මේ මොන මලකෝලමක් ද. හිතුවද මම මේ කඩෙන් බඩු හොරකම් කරයි කියලා. මගේ බල්ලවත් ඒවගේ වැඩක් කරන්නේ නැහැ. මට යන්න දෙන්න ඇයි නිකරුනේ මාව සැක කරන්නේ. මම මේ කඬේ බඩු හොරකම් කරා නම් හොරකම් කරපු බඩු අරන් තියන්න ඕනනේ යිය ඇය පෙරත්ත කරමින් කීවාය.
ඇයගේ කීම තඹේකට ගණන් නොගත් සේවිකාවන් දෙදෙනා මේ කාන්තාව සිය වෙළෙඳ සලේ උඩුමහලට ගෙන ගොස් ඇය ඇඳ සිටි ඇඳුම ඔසවා පරීක්ෂා කළ විටදී ඔවුනගේ ඇස් අදහාගත නොහැකි දර්ශනයක් දුටුහ. ඒ එම කාන්තාවගේ රහස් ප්‍රදේශයට කිට්ටු වන්නට දෙකලවාහි සවිකර තිබූ පැසක් තුළ සිය වෙළෙඳ සලේ අලෙවි කිරීමට තිබූ රුපියල් 3325ක් පමණ වටිනා කිරිපිටි ටින් එකක් එම පැස තුළ තිබෙනු දැකීමෙන්ය.
එම වෙළෙඳ සලේ පාලන අධිකාරිය විසින් ඇය මේ කරන ලද සොරකම පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව ඇය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

