කොරෝනාවෙන් බේරෙන්න වැඩිය කාලා අන්තිමේදී නැති ලෙඩත් හැදිලා


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා රෝගයෙන් බේරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යැයි කියමින් ඉවක් බවක් නැතිව මස් මාංශ අනුභව කොට බෝනොවන රෝග තුනම බෝවී කොරෝනාවලින් නොව එම රෝගවලින් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.


කොරෝනා රෝගය වැළඳීමේ හා එම රෝගයට ඔරොත්තුදීමේ හැකියාවට ශරීරයේ හොද ප්‍රතිශක්තිකරණයක් තිබිය යුතු යයි ඔහුට දැන ගන්නට ලැබුණේය. ඒ සඳහා ප්‍රෝටීන් බහුල මෙන්ම ධාන්‍ය වර්ගද ආහාරයට ගැනීම සුදුසු යයිද ඔහු නිගමනය කළේය.


ඒ අනුව ඔහු වෙනදා නැති තරම් කුකුළු මස් ආහාරයට ගත්තේය. වෙනදා නැති තරම් කෑමද කෑවේය. සංචරණ සීමා පනවා තිබූ නිසා රැකියාවටද නොගොස් ඔහු හොඳ හැටි නිවසේ සිට ආහාර ගත්තේය. කාලයක් යද්දී ඔහුට තද බල පපුවේ කැක්කුමක් ඇල්ලු‍වේය.

ඉවසන්නම බැරි තැන ඔහු රෝහල් ගත කෙරිණ.


කරන ලද පරීක්ෂණවලින් ඔහුට වෙනදා තිබූ නැති කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය මෙන්ම දියවැඩියාවද බෝවී තිබිණ. 


කොරෝනාවලට සිය සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට මෙලෙස ඉවක් බවක් නැතිව ආහාර ගත්තේනම් මිය යන්නේ කොරෝනා රෝගයෙන් නොව බෝනොවන රෝග ත්‍රිත්වයෙන් බව ඔහුට ප්‍රතිකාර කර වෛද්‍යවරුන් පැවසූවේ ඔහුගේ ඉහමොළ රත් කරමිනි.
දැන් ඔහු මේ රෝග ත්‍රිත්වය සඳහාම ප්‍රතිකාර ගනිමින් සිටියි.