හිඟුරානේ නවරත්න සමරතුංග
කොරෝනා වෛරසයෙන් ඕනෑවට වඩා පරිස්සම් වීමට ගොස් මහ රෑ නැන්දම්මාගේ ඇඟමතට බෑනා ඇද වැටීමෙන් සිදු වූ අකරතැබ්බයක් අම්පාරේ ඈත එපිට ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු තරමක් තරබාරු මිටි පුද්ගලයෙකි. කොරෝනාවට දැඩි බියක් දැක්වූ ඔහු සෞඛ්‍ය නීති රීති පළිපදිමින් කටයුතු කළ අයෙකු විය.
ඒ අනුව දරු ප්‍රසූතියට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ ආරක්ෂා කර ගැනීමට ඔහු වැඩි අවධානයකින් පසු විය.
මෙම නිවසේ ඉඩ පහසුකම් අඩු නිසා බිරිඳගේ ආරක්ෂාව සඳහා ඔහු නිදා ගත්තේ ඇඳේ කොනට වන්නටය. බිරිඳ බිත්තිය අයිනේ නිදා ගත්තාය.
මේ අතර මෙම ගැබිනි දියණිය බැලීමට තම බාල දියණිය ද සමග නැන්දම්මා එම නිවසට පැමිණියාය.
නිතර බුලත් සපන්නෙකුවන බෑණා රාත්‍රි අාහාරගෙන බුලත් විට සපමින් සතුටු සාමිචියේ යෙදී රාත්‍රි නින්දට ගොස් ඇත.
සැමියා සහ බිරිඳ වෙනදා මෙන්ම ඇඳේ මීටරයක දුරින් නිදා ගත් අතර මව සහ දියණිය ඇඳ පාමුල පැදුරක් එලා නිදාගත්හ.
මහරෑ නිදි මතේම ඇඳ අයිනේ තවත් ඉඩ ඇති බව සිතාගත් බෑනා එක් වරම හැරෙන විට බිම නිදාගෙන සිටි නැන්දම්මාගේ ඇඟමත පතිත වූයේ කෙසෙල් ගසක් කපා දැමුවාට සමානවය.
‘අනේ පුතේ....! මේ මොකද වුණේ?‘ කියමින් නැන්දම්මා කෑ ගසද්දී නැගිට ගත් බෑනා ‘මං හිතුවේ ඇඳේ තවත් ඉඩ ඇති කියලා හිතා මතා කළ වැරැද්දක් නෙවෙයිනේ ‘ කියමින් සමාව අයැ ද සිටියේය.
එහෙත් මෙහිදී තවත් සිද්ධිකට නැන්දම්මා මුහුණ පෑවාය. ඒ තම බෑනා බුලත් විට කා කෙළ ගැසූ පඩික්කම පෙරළී නැන්දම්මාගේ මුහුණ බුලත් කෙළවලින් නෑවී යාමය.
මේනිසා අලුයම දෙකට පමණ නැන්දම්මාට දියනා පිරිසිදු වීමට සිදුවිය. මෙම සිද්ධිය ඇගේ දියණිය විසින් පසුව දා යාබද ඉඩමේ පදිංචී කාන්තාවට පැවසීමෙන් පුවත ගම පුරා පැතිර ගියේය.