(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
තමාගේ නියම වයස අසල්වැසියන්ට ප්‍රකාශ නොකර නියම වයස සඟවා සිටි කාන්තාවකට කොරෝනා මර්දන එන්නත ලබාගැනීමට යෑමට සිදුවීමෙන් ඇයගේ සැබෑ වයස අසල්වාසී කාන්තාවකට හෙළිවූ බව කියැවෙන පුවතක් කුරුණෑගල ගම්මානයකින් වාර්තාවිය.
ඇයගේ ගම්පළාත මීගමුව ප්‍රදේශයේය. එකම දියණිය විවාහවී පදිංචිව සිටියේ දියණියගේ සැමියාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල කිට්ටුව ගම්මානයකය. දියණියගේ සැමියා හමුදා නිලධාරියෙකි. සිය සැමියාගේ හදිසි අභාවයෙන් අනතුරුව සිය දියණියගේ නිවෙසේ පදිංචියට මෙම කාන්තාව පැමිණියේ මීට වසර එකහමාරකට පමණ පෙරය.
ඉතා රූමත් කාන්තාවක වූ ඇය තම රූ සපුව පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ කාන්තාවකි. ඇය දියණිය සමග එකට සිටින විට බොහෝ දෙනා පැවසූයේ ඒ දෙදෙනා අම්මයි දුවයි වගේ නොව සහෝදරියන් දෙදෙනෙකු වගේ කියාය. ඇතැම් අය පැවැසූයේ ඇය දියණියටත් වඩා හැඩකාර යුවතියක බවය.
ඇයගේ නියම වයස අවුරුදු 63 පමණ වුවද අසල්වැසි කාන්තාවන්ට ඇය පැවැසූයේ තමා අවුරුදු පනස් හයක් පමණ වයස බවය. ගමේ අසල්වැසි කාන්තාවන්ද එය පිළිගත්තේ ඇයගේ තරුණ පෙනුම නිසාත්, වයස් ගතියක් නොපෙනෙන නිසාත්ය.
පසුගිය දිනෙක ඔවුන් ජීවත්වන ගම්මානයේ අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන පැවැත්වුණේ ගම්මානයේ ප්‍රජාශාලාවේදිය. උදෑසන 8.30 සිට 12.30 දක්වා එය පැවැතුවිණි. ප්‍රදේශයේ ග්‍රාමනිලධාරියා තමා ළඟ තිබූ 60ට වැඩි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව පරීක්ෂාකරමින් එන්නත් ලබා නොගත් අයට දුරකතන ඇමතුම් ලබාදී ගෙන්වා ගැනීමට කටයුතු කළේ වැඩසටහන අවසන් කිරීමට පැයකට පමණ පෙරය. මෙම කාන්තාවගේ දියණියටද දුරකථන ඇමතුමක් ලබාදුන් ග්‍රාම නිලධාරිවරයා පවසා සිටියේ ඉක්මණින් එන්නත ලබාදීම සඳහා මව කැටුව එන ලෙසය.
කාන්තාව එන්නත ලබා ගැනීමට යෑමට අකැමැත්තක් දැක්වූවද දියණිය ත්‍රිරෝද රථයක් ගෙන්වා මවද කැටුව ප්‍රජාශාලාව වෙත ගොස් එන්නත ලබාගෙන නිවෙසට පැමිණියාය. ඔවුන් එහි යනවිටත් අසල්වැසි නිවෙස් කිහිපයක පිරිස් එන්නත ලබාගැනීමට එහිගොස් සිටියහ.
එන්නත ලබා පැමිණි දිනසිට සිය මව නිවෙසේම රැඳී සිටීමත්, අසල්වැසි නිවෙස් වලට නොයාම හා ඔවුන් සමග කතාබහ නොකිරීමත් දියණියට මහත් කුතුහලයක් විය.
දින දෙක තුනකට පසු මේ පිළිබඳව විමසීමේදී කාන්තාව දියණියට පවසා ඇත්තේ මෙවැන්නකි.
මං අහල පහල අයට කීවේ මගේ වයස අවුරුදු පනස් හයක් කියලා. එදා එන්නත ගන්න ගිය වෙලාවේ ගමේ ගෑනු කෙනෙක් මගෙන් ඇහුව ‘‘නංගි ඇයි ඔයා ආවේ, අද එන්නත් කරන්නේ 60 ට වැඩි අයට’’ කියලා. මටහරි ලජ්ජාව. ගමේ කාන්තාවෝ හැමෝම දැනගත්තා මට අවුරුදු 60 ට වඩා වැඩියි කියලා. ඒ අය මට හිනාවෙනව ඇති දැන්.
අම්මා මොකටද බොරු කියන්න ගියේ. හරිම වයස කීවානම් ඉවරයිනේ. ඒක හංගන්න දෙයක් නෑ. ග්‍රාම නිලධාරීතුමා ළඟ ඔයාගෙ තොරතුරු තියෙනවානේ. අනික දැන් අම්මාගේ නම තියෙන්නේ අපේ ගෘහමූලිකයට. ඡන්දය තියෙන්නේ දැන් මෙහෙ. දියණිය පැවැසුවාය.

