කොන්දොස්තරගේ කනෙන් රිංගා 2500 කට විදලා


සපත්තු පෙට්ටි දෙකක් බස් රියකට පටවා තවත් සපත්තු පෙට්ටියක් ගෙන එනතුරු ඉන්නා ලෙස දන්වා ත්‍රිරෝද රියේ කුලිය ගෙවන්න රුපියල් 2500ක් කොන්දොස්තරගෙන් ඉල්ලාගෙන ගිය තරුණයකු එනතුරු බසය නවතාගෙන බලාසිටින්නට සිදුවූ සිද්ධියක් පෙරේදා 2 මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා විය. කන්දෙකැටිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළ පෞද්ගලික බසය මහියංගණය ඔස්සේ ගමන් කළ එකකි.

මහියංගණයට නුදුරු පෙදෙසක දී බසය නැවත්වූවේ මගීන්ට නගින්නටය. හොඳින් ඇඳ පැළඳි තරුණයකු තරමක් විශාල පෙට්ටි දෙකක් බසයට පැටෙව්වේය. කොන්දොස්තර මොනවාදැයි විමසූ අවස්ථාවේ සපත්තු ටිකක් අරගෙන යනවා කී තරණයා තවත් පෙට්ටියක් ත්‍රීවිල් එකේ තියෙනවා ඒකත් අරගෙන එන්නම් කියා රුපියල් පන්දහසේ කොළයක් පෙන්වා මාරු කරගැනීමට අවශ්‍ය බව කියා ත්‍රීරෝද රියේ කුලිය ගෙවන්න රුපියල් 2500ක් කොන්දොස්තරගෙන් ඉල්ලා ගත්තේය. මුදල්ගත් තරුණයා අනෙක් සපත්තු පෙට්ටිය අරගෙන එනතුරු විනාඩි විස්සක් පමණ වේලා බසය නවතාගෙන බලා සිටියත් ආවේ නැත. කරකියාගත දෙයක් නොවූ කොන්දොස්තර මේ ගැන රියැදුරාට දැන්වීය.

රියැදුරාගේ උපදෙස් පරිදි සපත්තු පෙට්ටි එකින් එක විවෘත කර බලන්නට තීරණය කෙරිණි. පෙට්ටිය විවෘත කර බැලූ කොන්දොස්තරවරයාගේ මුවින් සිහින් කෙඳිරිල්ලක් පිටවිණි. ඒහි වූයේ වියළීගිය අන්නාසි රොඩු තොගයකි. මහත් රැවටිල්ලකට අසුවී බසය විනාඩි විස්සක් පමණ වේලාවක් ප්‍රමාද වූයේය. ඒ අතරම රුපියල් 2500ක පාඩුවක් විඳීමට ද සිදුවීමත් මගීන්, මේ සියල්ල දැකීමත් නිසා මහත් අපහසුතාවකට පත්වූ කොන්දොස්තර කරකියාගත දෙයක් නොවූ තැන හරි දැන් අපි යමුයි රියැදුරාට පැවසීය.

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)