කොට කොටා ගිය බසයේ රියැදුරුගෙන් මඟියාට දෝස්මුරයක්
සෙනසුරාදා දිනයකි. මාර්ග අංක 177 බස් රථයයි. කොල්ලූපිටිය සිට කඩුවෙල දක්වා බස්රථය ගමන් කළේය. එහි මගීන් අට දෙනෙකුවත් සිටියේ නැත. රියැදුරුගේ මුහුණ මලානිකය. කොන්දොස්තරගේ ඊට නොදෙවෙනිය.
කොල්ලූපිටිය මන්සන්ධියේ සිට බසය හිමින් හිමින් ඉදිරියට එමින් තබිණි. බොරැල්ලට ආසන්න වෙද්දී බසයට තවත් මගීන් දෙදෙනෙක් එකතු වූහ.
යන්නැද්ද ඕයි මේක. බලනවා කීයදට මේකට නැග්ගේ. දැන් පැය ගාණක් තිස්සේ කොටනවා. කාලකණ්ණි අපේ කාලේ කනවා. හොඳින් හැඳ පැළඳගත් පුද්ගලයෙක් කේන්තියෙන් පුපුරමින් බැන වැදුණේය. කොන්දොස්තර බලාගෙන සිටියේය.
ෂික්.. මේ කාලකණ්ණි. නැවතත් මගියා බැන වදින්නට විය. එවට කොන්දොස්තර මෙසේ කීවේය.
අපි මොනවා කරන්නද මහත්තයා. බලන්න අපිට දීලා තියෙන වෙලාවට තමයි අපි යන්නේ.
ඉස්සරහ බස් දෙකක් යනවා. තව පිටිපස්සෙන් බස් දෙකක් එනවා. කොන්දොස්තරගේ එම කතාවට මගියාද එකටෙක එක කීවේය.
රියැදුරු මොහොතක් මේ සියල්ල අසා සිට බස්රථයේ ඇතුළතින් ඇති කණ්ණාඩියෙන් බලා මෙසේ කීවේය.
මහත්තයා මහත්තයාගේ කතාව හරි. මම ඒක පිළිගන්නවා. අපි කරන්නේ ලොකු වරදක්. මොකද මහත්තයලා අපිට කාලකණ්ණි කියනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් අපි කාලකන්නින්ට මහත්තයා කියනවානේ. ඉතින් ඒක වරදක් නොවෙයිද?
මිනිහෙකට මිනිහෙක් ගරු කළොත් තමයි ගෞරවය ලැබෙන්නේ. අපි මේ ආශාවට කොට කෙටා යනවා නොවෙයි. එහෙම කරන අයට ඔය කියන වචනය කිව්වට කමක් නෑ.
බලන්න මේවා වතුරෙන් නොවෙයි දුවන්නේ. බස් එකටම ඉන්නේ අට දෙනයි. හවසට සල්ලි නොදුන්නොත් අයිතිකාරයො අපිට දොස් කියනවා. දවල්ට මගීන්ගෙන් දොස්. අපිත් මිනිස්සු.

