හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිරියකට රත්තරන් ආභරණ උකස් කිරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි.
උජාරුවට හැඳ පැලඳගත් සැමියා ගමට යාමට මෙරට කුලීරථ සමාගමක අන්තර්ජාල යෙදුම හරහා කුලී රථයක් වෙන්කර ගත්තේය. ඔහු ඉකුත් දිනක රාත්‍රියේදී කුලී රථ සමාගමෙන් ලබාගත් වාහනයෙන් අගනුවර සිට සැතපුම් සියයකට වැඩිදුරක් ගෙවා සිය නිවෙසට පැමිණි ඇති අතර ඔහු නිවෙස ආසන්නයේ දී වාහනයෙන් බැස කුලී මුදල නොගෙවා පලාගොස් ඇති බව පැවසේ. කුලී මුදල නොලැබීම නිසා අසීරුතාවට පත් කුලී රථයේ රියැදුරු නීතියේ පිහිට පැතුවේය.
කුලී රථ රියැදුරුගේ පැමිණිල්ලේ සඳහන් තොරතුරුවලට අනුව සැකකරුගේ නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී ද සැමියා පලාගිය බව සැල වී ඇත. එලෙස පලාගිය සැකකරුගේ බිරිය සහ ඇයගේ මවුපියෝ තමන් සන්තකයේ තිබූ රත්තරන් ආභරණයක් උකස් කර සම්පූර්ණ කුලී මුදල ගෙවා දැමීම සිදුකළහ. මුදල් ලැබුණු නිසා වැඩිදුරටත් නීතිමය කටයුතු අවශ්‍ය නොවන බවට එහිදී කුලී රථ රියැදුරු ප්‍රකාශ කිරීමෙන් සිද්ධිය සමථයකට පත් වූ අතර සිද්ධිය ප්‍රදේශය පුරා ළැව් ගින්නක් මෙන් පැතිරයාමට වැඩි කාලයක් ගත නොවීය.