කුරුල්ලො විදිහට තුරුලූ වෙන්න ගිහින් පෙම්වතාට කුඩපහරක්
මගී ප‍්‍රවාහන බස් රථවල පසුපස ආසනයේ දෙපස මුළුවලට පෙම්වතුන්ගෙන් ඇත්තේ හොඳ ඉල්ලූමකි. රත්නපුර තෙක් ගමන් කිරීමට සූදානමින් පානදුර බස් නැවතුමේ නවතා තිබූ එම පෞද්ගලික බසයේ පසුපස ආසනයේ එක් කොනක සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසුණු පෙම් යුවළකි.
අවට ලෝකය ගැන වගේ වගක් නොමැතිව තමන්ගේම ලොවක තනිවූ ඔවුන්ට කිසිදු ලැජ්ජාවක් ඇති බවක් නම් නොපෙනුණේය. සුරතල් පෙම් වදන් දෙදෙනා අතර හුවමාරු වෙද්දී, ඒවා අනික් මගීන්ට ද ඇසුණමුත් මේ දෙපළට ඒ ගැන කිසිදු තැකීමක් නොතිබිණි. බසය නවතා තිබූ නිසා ඔවුන් කතා බහ කළ දේ අවට සිටි සියල්ලන්ටම ඉතා පැහැදිලිව ඇසිණි.
එක්වරම කවුළුවෙන් එපිට ඈත ගසක් දෙසට අත දිගු කළ පෙම්වතිය ”බබා ඔයාට පේනවද අර ඈත පේන ගහේ වහලා ඉන්න කුරුල්ලෝ දෙන්නා?” යැයි තම පෙම්වතාගෙන් විමසීය.
වහා ඇය පෙන්වූ දෙස ගෙල දිගු කර බැලූ සිසුවා ”ආ ඔව් ඔව්.. අර ඉන්නේ. මට පේනවා. ඒ කපුටො දෙන්නෙක් නේ බබී” යනුවෙන් පැවසීය.
”බලන්න අනේ. උන් කොච්චර ආදරයෙන් ද තුරුලූවෙලා ඉන්නේ. අපි දෙන්නත් ඒ විදියට ඉමු” ඇය පැවසුවේ තම ආදරවන්තයාට තව තවත් තුරුලූ වෙමිනි.
”ඔයාට පිස්සුද බබී. මට නං කොහොම හරි නැගගන්න පුළුවන්. ඒත් ඔයා කොහොමද ඔච්චර උඩ තියෙන අත්තකට නැඟ ගන්නේ” යැයි පාසල් පෙම්වතා පිළිතුරු දෙද්දී ඒ අසා සිටි අයට සිනහව නවතා ගන්නට නොහැකි විණි.
මුහුණ රකුසු කරගත් සුරතල් ආදරවන්තිය අතේ තිබුණු රෝස පැහැති මල් කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කර බසයෙන් බැස ගියේ නිකන්ම නොව තම ආදරවන්තයාට සිවුපාවකුගේ නාමයකින් ද සංග‍්‍රහ කරමිනි.

