කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ
නිවසක පැවැති උත්සවයක් සඳහා අඩු මිලට කුකුළු මස් මිල දී ගැනීමට ගොස් කාලය, ශ්‍රමය, මුදල් වැඩියෙන් වියදම් කිරීමට සිදු වූ පුවතක් මහනුවරට දුර බැහැර ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.
නිවසේ පැවති උත්සවයක් සඳහා පැමිණෙන පුද්ගලයන් සිය දෙනකු පමණ පිරිසක් සඳහා කුකුළු මස් සහිත ආහාර වේලක් ලබාදීමට මෙම නිවසේ හිමිකරු තීරණය කර තිබිණි.
ඒ අනුව මහනුවර නගරයට කිලෝමීටර් හතළිහක පමණ දුර ප්‍රදේශයක, නිවස පිහිටි මෙම පුද්ගලයා රැකියාව සිදු කළේ මහනුවර නගරයේ පිහිටි ආයතනයකය.
ඒ හේතුවෙන් ගම්මානයේ පිහිටි කුකුළු මස් කඩයෙන් මස් මිල දී ගැනීම පසෙකලා මහනුවර නගරයෙන් අඩු මිලට කුකුළු මස් මිලදී ගැනීමට හැකි යයි පවසා මස් තොගය නුවරින් රැගෙන එන බව බිරිඳට පවසා ඇත.
ඒ අනුව උත්සවය පැවැත්වෙන දිනයේ උදේ රැයින්ම මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ උත්සවයට අවැසි තවත් දේ රැගෙන ඒමට තම ත්‍රිරෝද රියෙන්ය.
එසේ මහනුවරට පැමිණි මෙම පුද්ගලයා මහනුවර නගරයේ කුකුළු මස් විකිණිමට ඇති කඩ කිහිපයකින් මස් සඳහා පවතින මිල විමසා අඩුම මිල සහිත අලෙවි සැලකින් මිලදී ගෙන නැවත දහවල් කාලයේ නිවස කරා පැමිණියේ උත්සවයේ සංවිධාන කටයුතු අවසන් කිරීමේ අරමුණිනි.
නිවසට පැමිණි ඔහු තමන් විසින් ගෙන එන ලද බඩු බාහිරාදිය පැමිණි සිටි අයගේද සහායෙන් නිවසේ මුලුතැන්ගෙය වෙත ගොස් බිරිඳ වෙත භාරදීමට පියවර ගත්තේය.
අවසානයේ දී රථයේ තිබූ කුකුළු මස් තොගය නිවෙස් හිමියා විසින්ම රැගෙන ගොස් උත්සවයේ ඉවුම් පිහුම් කටයුතු සඳහා පැමිණ සිටි ප්‍රධාන කෝකියා ඇතුළු පිරිස වෙත ලබා දුන්නේ හොඳ කුකුළු මස් ටිකක් ලැබුණා අඩුවට, දැන්ම හදලා ගමු, කටගැස්මටත් මේවම තමයි ගන්න තියෙන්නේ‘ යැයි කියමිනි.
ඒ අතර නිවෙස් හිමියා ගමන් වෙහෙස නිවා ගැනීමට තේ කෝප්පයක් බීමට සැරසෙන අවස්ථාවේදී, ඔහුගේ බිරිඳ වහා දුවගෙනවිත්, සුළු මොහොතකට පෙර ගෙන එන ලද කුකුළු මස් තොගය නරක්වී අැති බව කෝකියා කියන බව පවසා ඇත.
මෙය ඇසු නිවෙස් හිමියා හිසේ අත තබාගෙන මුළුතැන්ගෙය වෙත දිව යන වන විටත් මුළුතැන් ගෙය දෙසින් එන කුකුළු මස්වල කුණු ගඳ දැනෙන්නට විය.
ඒ වන විටත් මේ සිද්ධිය නිවසට පැමිණි සියල්ලන්ටම ආරංචිවී තිබූ බැවින්, රැස් වී තැනින් තැන සාකච්ඡා වන බව දක්නට ලැබිණි.
මෙය දුටු නිවෙස් හිමියා වහා කමිසයක් ඇඟලාගෙන මුළුතැන්ගෙය තුළ තිබූ කුකුළු මස් තොගයද නාසය වසාගෙන මල්ලකට අසුරා ගත්තේ ‘මදෑ ලාබෙට කුකුළු මස් කන්න හිටියා යැයි’ තමාටම කියා ගනිමිනි.
ඉන්පසු හනි හනිකට මහනුවර බලා පිටත් වූයේ කුකුළු මස් කඩය වැසීමට පෙර කුකුළු මස් තොගය මාරුකරගෙන උත්සව කටයුතු සඳහා රෑ බෝවන්නට පෙර යළි නිවස කරා පැමිණීමේ අටියෙනි.