නැදලගමුව ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ
වයස්ගත වීමත් සමග නිතර රෝගී වන මවකගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දියණියක විසින් ඇය රෝහල් ගත කරනු ලැබුවේ නේවාසික ප්‍රතිකාර ලබා දීමටය.
දියණියද මවගේ ආවතේව සඳහා ඇය ළඟ රෝහලේ නතර වූවාය. නිදිවරාගෙන මවට සාත්තු සප්පායම් කළ දියණිය දින දෙක තුනක් තුළදී මවගේ තත්ත්වය තරමක් සුව අතට හැරෙමින් තිබූ නිසා දැන් අම්මට හොඳයිනෙ තනියම ඉන්න පුළුවන්නේ. ටිකට් කපනකම් ඉන්න මම ගෙදර යන්නම් යැයි පැවසුවාය.
දියණිය සියලු දෑ මවට ළඟට කර අර කාමරයට ගිහින් කෑම කන්න මේ තියෙන්නෙ කුණු දාන බක්කිය. මේකට ඉඳුල් දාන්න. මේක අරින්න මේ කුණු බක්කිය යට තියන කෑල්ල මෙහෙම පා ගන්න. එතකොට පියන ඇරෙනව යයි පැවසුවේ රාත්‍රි ආහාරය ගෙන ඉඳුල් දැමීමට යාමේදීය. එහෙත් මව ඒ සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දැක්වූ බවක් පෙනෙන්නට නොවිණි.
දියණිය පසු දින උදෑසන හයට පමණ නිවෙසට ගියාය. තවත් දිනක් දෙකක් තුළ මවට සුවවීම හේතුවෙන් රෝහලේ ටිකට් කැපූ නිසා ඇය නිවෙසට කැඳවාගෙන ආවාය. එදින මව නිවෙසට පැමිණ කකුල කොර ගසමින් ඉතා අපහසුවෙන් ඇවිදින බවක් පෙනෙන්නට විය. ඇයි කොර ගහන්නෙ දියණිය මවගෙන් විමසුවාය.
ඉස්පිරිතාලෙ කුණු බක්කිය අරින්න ගිහිල්ල කකුල තුවාල වුණා. මවගේ පිළිතුර විය.
ඒ මොකද දියණිය ප්‍රශ්න කළේ විමතියෙනි.
ඇයි ළමයො ඔයා කිව්වෙ එදා කුණු බක්කියට පයින් ගහල අරින්න කියල මම කුණු බක්කියෙ යට කෑල්ලට පයින් ගැහැව්ව ඇරුණේ නෑ. කීප සැරයක් හයියෙන් පයින් ගැහැව්ව එතකොට මගෙ කකුල තුවාල වුණා යැයි පැවසුවාය.
මව කාරණය කී පසු දියණියට සිනාව වළකා ගත නොහැකි විය. මම කිව්වෙ පයින් ගහන්න කියල නෙමේ පයින් පාගන්න කියල එතකොට ඇරෙනව කියලයි. මවගේ කකුල තුවාල වී ඇති කාරණය පියාට පැවැසූ පසූ පියාටද සිනා නොවී සිටීමට නොහැකි විය.
එසේ වුවත් තවත් දවස් දෙක තුනකට පසු මව යළිත් රෝහලට ගෙනයාමට සිදුවිය. ඒ ඇයගේ කකුලේ තුවාලය පැසවා නරක අතට හැරී තිබූ බැවිනි.