කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා


මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස් නිලධාරීන්ට ද ඔහු ඇලජික්ය. මේ දෙගොල්ලන්ම සිටියේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් වාඩුවක් ගැනීමටය.
මෙහෙම ඉන්නා අතරවාරයේ දී එදා රෑ ඔහු සිය නිවස ඉදිරිපිට මාර්ගය අයිනේ සිටියේය. ඔහු සිටියේ නිකම්ම නිකං නොවේ ඇඟ රත් කරගෙනමය. ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ඔහුට කිට්ටු වූහ. ‘‘මොකද තමුසේ ඔතන කරන්නේ’’ යයි එක් පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ඇසුවේය.
‘හා මමද, මම මේ කුඩු පැකට් එකක් ගේන්න එකෙක් යැව්වා එනකම් ඉන්නේ’ යයි ඔහු ඇඟට පතට නොදැනීම කීවේය. ඒ සමගම පොලිස් නිලධාරීහු කලබල වූහ. ඒ ඔහුගේ තරම හොඳින් දන්නා නිසාය. එක් නිලධාරියකු පැන්න ගමන්ම ඔහුගේ අත තිබූ ජංගම දුරකතනය ගත්තේය.


ඒ සමගම ඔවුන් වහන්වී සිටියේ කුඩු පැකට් එක ගේන්න ගිය කෙනා අල්ලා ගැනීමටය. තමන් ඔහු සමග සිටියහොත් දුර තියා කුඩු පැකට් එක ගේන්න ගිය කෙනා මාරු වෙතැයි සිතා පොලිස් නිලධාරීහු එසේ කළහ.
ගත වූයේ ටික වේලාවකි. ඔහු ළඟ යතුරු පැදියක් නතර කෙරිණි. එහි සිටියේ තරුණයෙකි.වහන්වී සිටි පොලිස් නිලධාරීහු වහා පැන ඔහු පරීක්ෂා කළහ. ඔහුගේ කලිසම් සාක්කුවෙන් මිරිස් කුඩු පැකට් එකක් හැර වෙනත් කිසිම දෙයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකිවිය.
කෝ මේ මිනිහා තමුසේට ගේන්න කියපු කුඩු පැකට් එක යයි පොලිස් නිලධාරීහු තරුණයාගෙන් ඇසූහ. සර් මට මෙයා ගේන්න කීවේ මිරිස් කුඩු පැකැට් එකක්. අපි දෙන්නා කතා කර කර ඉන්න කොට මෙයාගේ නෝනා මිරිස් කුඩු ඉවරයි කියලා කිව්වා.
පස්සේ මම මගේ යතුරු පැදියෙන් මිරිස් කුඩු පැකට් එකක් ගේන්න ගියා.ඒ මිරිස් කුඩු පැකට් එක තමයි සර්ලා ගත්තේ යයි තරුණයා කීවිට හරි තමුසේ අපි අල්ලා ගන්නම් යයි කීවේ ඔහුගේ සමච්චල් සිනා මධ්‍යයේය.

 

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත