කුකුළු මස් හොද්දේ පෙරේතකමෙන් කෑම මේසයම ඌරු කෑම වෙලා



පවිත්‍රා දේශානී 



ගෙදර කොටහළු මංගල දිනයක දවල් කෑම මේසයේ කුකුළු මස් ව්‍යංජනය ගම්වාසීන්ගෙන් ඉතුරු කර ගැනීමට ගොස් කෑම බොහොමයක් පොළොවට පස් වීමට වැළලීමට සිදු වූ පුවතක් අනුරාධපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
ගමේ නිරන්තරයෙන් පුවත් මවනා පවුලකි. මව පියා සමඟ විවාහක දියණියන් තිදෙනෙකි. ගමේ කොටහළුවක්, මංගල්‍යයක්, අවමංගල්‍යයක් කිසිවිටෙකත් මඟ නොහරියි. මේ නිසාම මොවුන් ගමේ ප්‍රසිද්ධ පවුලකි. 
සිද්ධිය සැකෙවින් මෙසේය. මේ පවුලේ බාල දියණියගේ දුවක් වැඩිවියට පත් වී සිටින්නීය. මෙම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සැමරීමට දින යොදාගෙන ඇත. ගමේ උදවිය එකතු වී උත්සව දිනට අවශ්‍ය කරනා කටයුතුවලට උදව් වී ඇත. බවලත් උදවිය කැවිලි පෙවිලි සෑදීමට අවශ්‍ය ශ්‍රමය ලබා දී ඇති අතර පිරිමි පාර්ශවය හට් ගසන කටයුතු ආදිය සිදුකර ඇත.


කොටහළු මංගල්‍යය දිනය එළැඹුණේය. උදෑසන තේ සංග්‍රහයෙන් පසු ගමේ උදවිය එකා දෙන්නා කොටහළු මංගල්‍යය තිබෙනා නිවෙස වෙත පැමිණියහ. දහවල් භෝජන සංග්‍රහය සඳහා කාල වෙලාව පැමිණි පසු සියල්ලෝ ආසාවෙන් කෑම බෙදාගත්හ. රස බැලූ පළමු කෑම කටෙන්ම සියල්ලගේ මුහුණු ඇඹුල් වී තිබේ. කුකුළු මස් වෑංජනය කටේ තියන්නට බැරිය. ගම්මිරිස් හා මිරිස් පමණ ඉක්මවා යොදා පිස ඇත. එය ගෑවුණ කිසිත් ආහාරයට ගත් නොහැකි තරම් සැරය. දහවල් කුකුළුමස් වෑංජනය රාත්‍රියටත් ඉතුරු වී ඇත. රාත්‍රියේත් කිසිවකු ආහාර පිරියකින් නොගත් අතර පිසූ ආහාරවලින් භාගයකටත් වඩා ඉතුරු වී ඇත. පසුවදා එම ආහාර කෑමට ගත නොහැකි තරම් පිළුණු වී ඇත. ඉන්පසු මේ පවුලේ උදවිය එකතු වී මෙම ආහාර ඌරන්ගේ ආහාරය උදෙසා ලබා දුන්නත් ආහාර නරක් වී පළාතම ගඳ ගැසූ හෙයින් ආහාර සියල්ල වළ දමා ඇත. 
කෑම ඉතුරු කර ගැනීමට ගොස් ආහාර සියල්ල විසි කිරීමට වීම නිසා මොවුන් නැවත තම නිවෙසේ උත්සව කටයුත්තකදී නම් ආහාර ඉතුරු කර ගැනීමට මෙවැනි පිළියම් යොදන්නේ නැති බව ආරංචියි.