හෝමාගම ප්‍රියන්ත ජයලත්
නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවකයකු උදෑසන ආහාරයට නිවෙසින් රැගෙන ආ කෑම ආහාරයට ගැනීමට සුදානම් වී බලන විට කෑම පෙට්ටියේ කිසිවක් තිබි නොමැති සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
එම සේවකයා නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන අතර ඔහු පසුගිය දිනක උදෑසන සුපුරුදු පරිදි තම රාජකාරී ස්ථානයට ඒමට සුදානම් වී ඇත.
එම අවස්ථාවේ ඔහුගේ බිරිය අද කඩෙන් කෑම කන්නෙ නැතුව මේ බත් එක කන්න යැයි පවසා ගෙදර පිසින ලද බත් සහ එළවළු සහිත කෑම පෙට්ටියක් උණු උණුවේ ගෙනවිත් ඔහුට ආදරයෙන් දී ඇත. ඔහු එම කෑම එක සිනහමුසු මුහුණින් භාරගෙන තම ත්‍රී රෝද රථයේ පිටුපස ඉතා සුරැකිව තබාගෙන කාර්යාලයට පැමිණ ඇත.
එසේ පැමිණ ඔහුට පැවරී තිබෙන රාජකාරී කටයුතුවල නියැලී සිටිය දී ඔහුට තදබල හිසේ කැක්කුමක් හටගෙන ඇත. එම අවස්ථාවේ ඔහුගේ ළඟම මිතුරකුට ඒ බව පවසා තමාට ආහාර ගැනීමට නොහැකි බවත් එම කෑම එක මිතුරාට කන ලෙසත් පවරා කෑම පෙට්ටිය කාර්යාලයේ කෑම කාමරයේ කෑම මේසය මත තබා ඔහු රාජකාරියේ නියැළී සිට ඇත.
ඒ අනුව ටික වේලාවකට පසුව එම මිතුරා ආහාර ගැනීම සඳහා කෑම කාමරයට ගොස් දෑත් පිරිසිදු කර එහි බංකුවක් මත වාඩි වී ආහාර ගැනීම සඳහා කෑම පෙට්ටිය වීවෘත කර බලන විට ඔහුගේ දෑස් උඩ ගියේය.
දෙයියෝ සිහි විය. කෑම පෙට්ටියේ බත් ඇටයක්වත් නැත. කිසියම් පුද්ගලයකු විසින් කෑම ටික ආහාරයට ගෙන තිබෙනු දක්නට ලැබිණ.
උදෑසනම දානයක් දුන්නා යැයි සිතමින් සතුටු සිතින් තම රාජකාරියේ නියැළිණි.