කාමරේ සීතල වැඩිවී ඒසී එකට රෙදි පොරවා ඇඳ යට නිදාගෙන


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නේවාසික පුහුණුවකට තරු පහේ හෝටල් කාමරයක ලැගුම් ගත් සේවකයින් දෙදෙනකු  රාත්‍රියේ ශීතලෙන් මිදීමට ක්‍රියා කළ අයුරු උදෑසන දැනගත් පුහුණුවට පැමිණ සිටි අනෙක් නේවාසිකයෝ  බඩ අල්ලාගෙන සිනාසුනහ.


මේ දෙන්නා ආයතනය මගින් නේවාසික පුහුණුවක් සඳහා නම් කර තිබිණ. එම පුහුණුව පැවතියේ නගරයක තරු පහේ හෝටලයකය. පළමු දිනයේ පුහුණුව එදා සවස් වනතුරුම පැවතිණි. පුහුණුව අවසන් වනතෙක්ම නවාතැන් පහසුකම් මෙන්ම කෑමබීමද ඔවුනට ලැබුණේ නොමිලයේමය. ඒ විතරක්ම නොව රාත්‍රියේ ඇඟපත රත්කර ගැනීමේ අවස්ථාවද  උදාවී තිබුණි. 


   රාත්‍රියේ ඇඟපත රත්කර ගන රාත්‍රී ආහාරයද සප්පායම් වී මේ දෙදෙනා තමන්ට ලැබුණු ශීතකළ කාමරයට එන විට මධ්‍යම රාත්‍රියද එළඹි තිබුණි. කාමරයේ පැවැති ශීතල දරා ගැනීමට නොහැකි විය.


‘‘මචං හරිම සීතලයි නින්ද යන්නේ නැහැ’’ යැයි එකෙක් කීය. ඔව් ඔව් මචං මටත් එහෙමයි. අපි කාමරයේ ඒසී එක ඕප් කරලා දාමු යැයි දෙදෙනාම කතිකා කර ගත්හ. දන්නා උපක්‍රම යෙදුවත් කාමරයේ ඒසී යන්ත්‍රය  ක්‍රියා විරහිත කර ගැනීමට නොහැකි විය. ඔවුහු ඒ සඳහා දන්නා සියලුම වැඩ දැමූහ.


අනෙක් කාමරවල සිටින අයගෙන් මේ සඳහා උදව්වක් ගැනීමට ඔවුන් නොපෙළඹුණේ තමන් ගොඩයන් යයි ඔවුන් සිතාවී යන්න සිත් තුළ හොල්මන් කළ බැවිනි. හෝටල් සේවකයකුගෙන් ද මේ සඳහා උදව්වක් ගැනීමට නොහැකිවූයේ ඒ සඳහා මේ වේලාව නොවේ යයි සිතූ නිසාය.


ඒ නිසාම ඔවුන් දෙදෙනා කාමරයේ ඒසී යන්ත්‍රය ලොකු තුවායකින් වසා දැමුවේය. එයද සාර්ථක ක්‍රමයක් නොවූයෙන් දෙදෙනා තීරණය කළේ ඇඳන් යට නිදා ගැනීමය. මෙට්ට දෙක ඇඳන් යට දමාගෙන බෙඩ් ෂීට් පොරවාගෙන ඔවුන් දෙදෙනා රැය පහන් කළේ මහත් ආයාසයෙනි.


තමන්ගේ හිතවත් නේවාසිකයකුට ඔවුන් මේ බව කීවේ කාමරයේ ඒසී යන්ත්‍රය ක්‍රියාවිරහිත කරවා ගන්නේ කෙසේදැයි දැන ගැනීමටය. 
මචං උඹලා කාමරයේ දොර අරින්න ගත්ත කාඩ් එකෙන් තමයි ඒසී එක ක්‍රියාත්මක කරන්නත් නවත්වන්නත් පුළුවන් යයි ඔහු කීවේය. දෙයියෝ සාක්කි අපි ඒක දැනගෙන හිටියේ නැහැනේ බං යයි ඔවුන් දෙදෙනා කීවේ මේ ගැන කාටවත්ම කටේ කෙල බිම හෙලන්න එපා යයි ඔහුගෙන් ඉල්ලමිනි. කටේ කෙළ බිම නොහෙලා  සිය සගයින් දෙදෙනා පෙරදා රාත්‍රියේ ගත කළ අයුරු අනෙක් අයට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාගේම රෙදි ගලවමිනි.