කළුවරේ අතගාලා අන්තිමේ ගස් බැඳලා


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ලයිට් කණුව පාමුල කළුවරේ අතපත ගෑ තරුණයාට එම ලයිට් කණුවේම ගැට ගැසී සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


පාළු පාරකි. විදුලි බල්බයක් නොතිබූ ලයිට් කණුවකි. එම ලයිට් කණුව පාමුල අඳුරේ තරුණයෙක් අතපත ගාමින් සිටියේය. ඒ එක්කම මුහුණු ආවරණ හා තොප්පි පැළඳි තරුණයෝ දෙතුන් දෙනෙක් මේ තරුණයාට කිසිවක් කරකියා ගන්නටවත් ඉඩ නොතබා එම ලයිට් කණුවේ බැන්දහ. ඒ විතරක්ම නොවේ ඔහුට කෑකෝ ගැසීමට බැරිවන අයුරින් කටට පාන්කඩ ඔබා මේ තරුණයෝ මාරු වුණෝය.


ගියේ ටික වේලාවකි එතනට යතුරුපැදියකින් විදිල්ලේ ආ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. හා එහෙනම් උඹ තමයි මේ ලයිට් කණුව යට කුඩු හංගන බඩුව කියමින් පොලිස් නිලධාරීහු දෙදෙනා ඔහු ලයිට් කණුවෙන් නිදහස් කළහ. කටේ තියෙන පාන්කඩද ඉවත් කළේය. කෝ යකෝ හංගන්න ගෙනා කුඩු යැයි කියමින් ඔහුට පොලිස් නිලධාරීහු ගෝරනාඩු කළහ.


තුෂ්නිම්භූත වූ තරුණයා කීවේ අනේ සර් මම ආවේ මේ ලයිට් කණුවේ ඉඩමක් විකිණීමට අදාළ දැන්වීමක් ගහන්න. දැන්වීම ගහල ඉවරවුණා විතරයි මගේ යතුරුපැදියේ යතුර මේ ලයිට් කණුව යට වැටුණා. ලයිට් කණුව යටින් යතුර හොයා ගන්න කොටම කට්ටියක් මට කිසිවක් කියන්නවත් නොදී කටට පාන් කඩ ඔබා ලයිට් කනුවේ බැන්දා යයි කීවේ තමා කුඩුකාරයකු නොවන බවද පවසමිනි.

පොලිස් නිලධාරීන් දෙදෙනා කරුණු කාරණා සොයා බැලූහ. ඔහු පවසා ඇත්තේ සත්‍යයක් බව පසක් විය.


මේ පාරේ මේ ලයිට් කණුව කුඩු ජාවරම්කාරයන්ගේ කුඩු හංගන තැනක් වී තිබිණ. ලයිට් කණුවේ අංකය කළුවරේ වුවද හොඳට පෙනීම එයට හේතුවක් වී තිබිණ. ප්‍රදේශවාසී තරුණයන් මේ කුඩු හංගන කුඩුකාරයන් අල්ලා ගස් බැඳීමට බලා සිටියත් ඒවා ව්‍යර්ථව ගියේ උන් ඊට වඩා සූක්ෂම වූ නිසාය.


කෙටි දැන්වීම් ලයිට් කණුවල අලව අලවා යමින් සිටි මේ තරුණයා කුඩු කාරයකු යයි සිතූ ප්‍රදේශවාසී තරුණයන් ඔහු ලයිට් කණුවේ බැඳ පොලිස් හදිසි ඇමතුම් ඒකකය ඇමතුවේ එහෙයිනි.