කසිප්පු තිප්පොළේ සිටියාට අමුතුම තාලේ දඬුවමක්


කසිප්පු තිප්පොළක සිටි පිරිසකට අමුතුම තාලේ දඬුවමක් විඳින්නට සිදුවීමේ පුවතක් ගලේවෙල තලකිරියාගම ගම්මානයෙන් වාර්තා විය. මෙම ගම්මානයේ වැව් බැම්මක පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දුන් පිරිසක් එය වටලන ආකාරය රහසිගතව බලා සිටියහ. වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දී ඔත්තුවේ සඳහන් ආකාරයට පොලිසිය වැව් බැම්මේ තිප්පොළ දෙතුන් පැත්තකින්ම වට කළහ. එහි සිටි පිරිසට ගැලවීමට ඇති එකම මග වැවට පැන එගොඩට පීනා යාම පමණි. මුලින්ම කසිප්පු මුදලාලි වැවට පැන පිහිනා යන්නට විය. කසිප්පු බීමට පැමිණි අට දෙනෙකුගෙන් සමන්විත පිරිස ද මුදලාලි අනුගමනය කළහ. එය සැබැවින්ම පිහිනුම් තරගයක් විය. විනාඩි දහයක් පමණ ගතවෙද්දී පිරිස එගොඩට ළඟා වූහ. ඒ වන විට බැම්මේ සිටි පොලිසියේ පිරිස ද එම ඉසව්වට ළඟා වී හමාරය. පොලිසිය දුටු පිරිස වඩාත් බියට පත්වී ආපසු මෙගොඩට පීනන්නට වූහ. පිරිස වැව් බැම්මට ළඟා වන විට පොලිසියේ පිරිස ද වැව් බැම්මට ළඟා වී සිටියහ. පොලිස් පිරිස දුටු පිහිනුම් කරුවෝ ආපසු දියඹට පිහිනා ගියහ. ඔවුන් එගොඩට ළඟා වන විට පොලිස් පිරිස ද එගොඩට ළඟා වී සිටියහ. මේ අයුරින් පැය දෙකක් පමණ ගත වන විට පිහිනන පිරිස හොඳටම හෙම්බත් වී හමාරය. පොලිසිය ගොඩින් යයි. පිරිස දියඹින් පිහිනා යයි. පැය දෙකක් පමණ ගත වන විට අඳුරු පැතුරුණි. වැව තුළ සිටිනා පිරිස හඳුනා ගැනීමට අපහසු තරමටම අඳුර වැඩි විය. මෙහෙයුම අතහැර දැමූ පොලිසියේ පිරිස ගිය පසු පිහිනුම්කරුවෝ ගොඩට පැමිණියහ. ”උසාවි ගිහිල්ලා දඩ නැතිවුණාට මොකද මේ දඬුවම හොඳටම ඇති” සීතලේ ගැහෙමින් ගොඩට පැමිණි එක් අයකු පැවසූ අයුරු සැඟවී බලා සිටි පිරිසට ද ඇසිණි.