මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
තරුණියක සිය නාභියට පැලඳවූ කරාබුව දුම්රියේ ගමන් කළ පාසල් යන දැරියකගේ ගෙතූ කොණ්ඩයේ පැටලීමෙන් ඇති වන්නට ගිය රණ්ඩුවක් වළක්වන්නට වයෝවෘද්ධ විශ්‍රාමිකයකු උත්සාහ ගත් පුවතක් පසුගියදා බස්නාහිරට නුදුරු වයඹ පළාතේ දුම්රිය ස්ථානයකින් වාර්තාවිය.
කොළොම්පුරේ රැකියාවකට යන නව යොවුන් වියේ තරුණියකි. විලාසිතා කරන්නට කප් ගැසූ ඇත්තියකි. නාභිය විද කරාබුවක් දාන විලාසිතාව අනුව ඇය කටයුතු කළේද මහත් රුචියෙනි. නාභියේ දිලිසෙන ගලක් ඇල්ලූ කරාබුව හොඳින් පෙනෙන අන්දමට සාරිය ඇන්ඳේ වැඩිමහල්ලන්ගේ විරෝධතාව මැදය.
මෙසේ ඇඳ පැලඳගත් ඇය රැකියාවට ගියේ සුපුරුදු පරිදි දුම්රියෙනි. එදා දුම්රිය හිඟයක් මෙන්ම ප්‍රමාදයක් ඇතිවූ දවසකි.
කාර්යාල සේවක පිරිස් මෙන්ම පාසල් ළමයිද කෝච්චි පෙට්ටියක හිරවූහ. තරුණියද ඔවුන් අතරවූවාය. කොණ්ඩේ ගොතපු පාසල් ළමයකු ළඟම වූ දුම්රිය ස්ථානයේදී ඉතා අපහසුවෙන් දුම්රියෙන් බසින අවස්ථාවේ පෙරකී කතගේ නාභියේවූ කරාබුවේ පාසල් දැරියගේ කොණ්ඩය පැටලුණි.
කෙස් පැටලීම ගලවා ගන්නට මහත් වෙහෙසක් ගනිද්දී යුවතිය පාසල් දැරිය හා අරෝවට ගියාය.
යුවතියද දැනු හඳුනන විශ්‍රාමික බැංකු කළමනාකරුවකු ගැටුම සමථයට පත් කර උපදෙස් දුන්නේ ආදර්ශවත් වැඩිහිටියකු පරිද්දෙනි. ‘කෙල්ලනේ ඔය කොතන විදල උඹල කරාබු දැම්මත් අපට කමක්නෑ උඹල ඔහොම අපරික්ෂාකාරීව ගිහින් තුවාලයක් වුණොත් ඒකට තව අහක ඉන්න කෙනෙක් අමාරුවේ වැටෙනවා. ඒ හින්දා ඔහොම ඔය කළමනා එළියෙ දාගෙන බස්වල කෝච්චිවල නොගිහින් කාරෙකක් තමන්ටම කියලා අරගනිල්ලා. ඒකේ රෙදි නැතුව හරි පලයල්ලා” කියද්දී විමතියට පත්වූ තරුණිය පාසල් දැරියට පෙර දුම්රියෙන් බැස පස්ස නොබලා ඈතට ගියේ තරුණයින්ගේ උසුළු විසුළු මැදය.

