කන්තෝරුවේ ලොක්කා අමුතු මළගේක ඇවිත්


(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
නිවෙසේ කරදරයක් යැයි නිවාඩු ලබාගත් රජයේ නිලධාරිනියකට වූ අලි අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයක රජයේ කාර්යාලයකින් වාර්තාවේ.


රජයේ ආයතනයක සේවය කරන මෙම කාන්තාව ඇයගේ මිතුරු මිතුරියන් අතර අතිශයින් ජනප්‍රිය තැනත්තියක් වූවාය. යතුරු පැදියකින් කාර්යාලයට පැමිණෙන ඇය නිතරම දැඩි ප්‍රියමනාප බවකින් යුතුව නිසි පිළිවෙළට ඇඳුමකින් සැරසී කාර්යාලයට පැමිණීම සිදු කළාය. 


දිනක් කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටියදී නිවෙසේ සිටි සුනඛයා මියගොස් ඇති බව සැමියා ඇයට පැවැසීය. වසර දහයකට වැඩි කාලයක් ගෙදර සිටි සුරතලා මියයාම පිළිබඳව කනස්සල්ලට පත් ඇය එදින නිවාඩු දැමීමට තීරණය කළාය. ගෙදර කරදරයක් අද වැඩට එන්නට වෙන්නේ නැහැ. යනුවෙන් හඬමින් සිය ආයතන ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇය පැවසුවාය. ලැබුණු දුරකතන ඇමතුමෙන් කලබලයට පත් ප්‍රධානියා ලද පණිවිඩය පිළිබඳව සිය කාර්ය මණ්ඩලයද දැනුම්වත් කළේය. 


කාර්යාල වේලාව නිමවීමෙන් පසුව වෑන් රථයක් කුලියට ගෙන ප්‍රධානියාද සමගින් සේවකයෝ පිරිසක් සිය යෙහෙළියගේ නිවෙසට ගියහ. නිවස අසල වාහනය නතර කළ පසු පිරිස අන්ද මන්ද වූයේ ගේට්ටුවද වසා ඇති බැවිනි. ගේට්ටුවට එක් අයකු තට්ටු කළ පසු ගෙදරට ඇඳ සිටි රාත්‍රි ඇඳුම පිටින් පැමිණි නිලධාරිනිය ගේට්ටුව විවෘත කළාය.


 සිය කාර්යාලයේ මිතුරු මිතුරියන් දුටු ඇය පුදුමයට පත්වූවාය. ගෙදර සිදුවූ කරදරය කුමක්දැයි ප්‍රධානියා විමසූ අතර සර් අපේ බල්ලා මැරුණා යැයි නිලධාරිනිය පැවසුවාය.


යක්ෂාරූඩ වූ ප්‍රධානියා වාහනයට නැග සේවක පිරිස සමග විදුලි වේගයෙන් පිටත්ව ගිය අතර පසු දින වන විට කාර්යාලය පුරාම කතාව පැතිර ගොස් තිබුණි.


 ගෙදර සිදුවූ කරදරය පිළිබඳව කාර්යාලයේ අය විමසීම නිසා තවත් දින කීපයක්ම නිවාඩු ගෙන නිවෙසේ නතර වීමට ඇයට සිදුවිය.