(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම කජුපුරයේ වෙළෙඳ කුටියකට වී කජු විකුණන මුවාවෙන් කසිප්පු විකිණීමේ යෙදුණ පුද්ගලයකු කසිප්පු බෝතල් 25ක් සමග පෙරේදා (8 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
කජු පුරයේ කෙළවරක කජු විකිණීමට තබා ඇති කුටියක් අසන්නයේ රැඳී සිටිමින් සැකකරු කසිප්පු විකිණීමේ නිරතව සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලත් තොරතුරක් අනුවය.
පැකට් කළ කසිප්පු තොගය ඒ ආසන්නයේ සඟවා තබා ගනුදෙනුකරුවන් පැමිණි අවස්ථාවේදී සැපයීමේ යෙදී සිට ඇත්තේ කජු විකුණන බව අඟවමින් බව ද පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත.
බෝතල් කාලක පැකට්ටුවක් රුපියල් 250කට විකුණා ඇතැයි ද රජයේ තැබෑරුම් වසා ඇති හෙයින් මෙම සැකකරු ප්‍රධාන මාර්ගයේ ගමන් කරන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රියදුරන් ඉලක්ක කරගෙන මේ ස්ථානයේ සිට ජාවාරම කර ඇති බවට ද පොලිසිය සැක කරයි.
කජු විකුණන කුටිය අසල රැඳී සිටිමින් ලොරි ගමන් කරද්දී සංඥා කර ගනුදෙනුකරුවන් කැඳවා ඔහු වෙළෙඳාම කර ඇති අතර එසේ කසිප්පු විකිණීමේ නිරතව සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.