කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
වාණිජ බැංකුවේ පෙර ගෙවුම්පත් කාඩ් යන්ත්‍රය ළග ඔමරි පපා සිටිය රූමතියගේ ගැටයට හසුවී හිරේ විලංගුවේ නොවැටී රුපියල් පන්දහසක් පමණක් නැති කරගත් අයෙකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
ව්‍යාපාරිකයෙකි. මැදි වයසේ ය. එදා බැංකුවට පැමිණියේ ණය වාරිකයක් ගෙවීමට ය. බැංකුව ළඟ රූමතියකි. දෙතොල් ද නාදලු මෙන් රතට රතේය. ඒ තරමටම දෙතොල් රතු කරය. මිස්ට මේ රුපියල් පන්දහස ටිකක් නැවිලා තියෙන නිසා මැෂින් එකට ගන්නේ නැහැ. පුළුවන් නම් මේ පන්දහස අරගෙන වෙන පන්දහසේ කොළයක් හෝ දාහේ නෝට්ටු පහක් දෙන ලෙස ඇය මොහුගෙන් ඉල්ලා සිටියා ය. එය ඉල්ලුවේ සායම් කර ඇති දෙතොලෙන් තොදොල් වෙවීය. හුරතල් විදිහටය. ඒ නිසාම ඔහුට ඇයගේ මේ ඉල්ලීම කෙසේවත් අහක දැමීමට සිත් නොවූවේ ය.
පෙනුමෙන් ඇයට ඔහු මාමා කෙනෙකු වුවත් මැයට වශීවූ ඔහු ආ නංගී ඕක මොකක්ද කෝ දෙන්නකෝ ඔයාගේ පන්දහ මම දෙන්නම් ටොයිස් පන්දාහයේ කොළයක් කියමින් ඔහු ඇයට පොඩි නොවූ පන්දහසේ කොළයක් දුන්නේය. ඇය ඔහුගෙන් ඒ පන්දහස කොළය ගත්තේ අතට ගත්තේ ඔහුට ලෙන්ගතු සිනහවක් ද පාමිනි.
ඉන් අනතුරුව සිතේ තැන්පත්වූ මේ ළඳ ගැන සිත සිතා බැංකුව තුළට ගිය ඔහු තමාගේ ණය වාරිකය අය කර ගැනීමට මුදල් දුන්නේය. ඒ එක්කම බැංකුවේ සල්ලි ගනිමින් සිටි බැංකු සේවිකාව කීවේ මේ මුදල් සමඟ හොර රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබෙන බවය. සල්ලි ගණින යන්තයට දැමූවිට එය ප්‍රතික්ෂේප වුණේ ද එය නිසා බව බැංකු නිලධාරිනිය ඔහුට කීවිට දෙවියන් බුදුන් සිහිවිය. තමා රුපියල් පන්දහස මාරු කරදුන් සුදු නංගි සිහිවිය. ඒ සමගම බැංකුවේ පෙර ගෙවුම් කාඩ්පත් මැෂිම ළඟට ඔහු ගියේ සුදු නංගි සිටිදැයි බැලීමට ය.
තමාට සිදුවූ ඇබැද්ධිය බැංකුවේ නිලධාරීන්ට ඔහු කීවේය. වැඩේ සාධාරණ වන්නට ඇතැයි සිතූ බැංකුවේ නිලධාරීහු හොර සල්ලි බැංකුවට දුන් මේ පුද්ගලයා පොලිසියට භාර නොදී හොර රුපියල් පන්දහසේ කොළය පමණක් සිදුරු විඳින යන්ත්‍රයකින් විද (පංච් කර) අවලංගු කළහ. රුපියල් පන්දහසේ පාඩුව විඳගත් ඔහු නිවසට ආවේ ආයෙත් නම් සුදු නංගිලාගේ ගැටවලට අහුවෙන්නෙ නම් නැහැ කියමින්ලු.

