(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා මියගිය මස්සිනාගේ ජාතික හැඳුනුම්පත රැගෙන ගිය අපූරු පුද්ගලයකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ආරම්භ වූ කාලයේ සිටම එන්නත ලබා ගැනීමේ පුදුම හදිසියකින් සිටි පුද්ගලයකු වන මොහුගේ බිරිය සහ දරුවන් දකුණු පළාතේ පදිංචිකරුවන් වුවද මොහු වෙනත් පළාතක පදිංචිකරුවෙකි.
පළාත් අතර සංචරණ සීමා පනවා ඇති නිසා මොහුට පදිංචි පළාතට ද යාමට නොහැකිය. රජයේ නොයෙක් කාර්යාලවල උසස් නිලධාරීන් සිටින බවට නිතර පම්පෝරි ගසන පුද්ගලයකු ලෙස හා සම සමාජවාදය හා සාධාරණත්වය පිළිබඳව නිතර කතා කරන්නකු වුවද ක්‍රියාවෙන් වෙනස් පුද්ගලයකු බවට ද මොහු ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම පුද්ගලයා තම මෝටර් රථයේ නැගී එන්නත්කරණය සිදුකරන අල්ලපු ගමේ පාසලට ගියේය. එන්නත්කරණය සිදුකිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පෝලිමට එක්වී ලියාපදිංචි කිරීමේ කාර්ය කර ගැනීමට සූදානම් වී ලියාපදිංචිය සිදුකරන නිලධාරියාට මස්සිනාගේ හැඳුනුම්පත ලබා දුන්නේය. හැඳුනුම්පතේ සඳහන් නම සහ ලිපිනය සඳහන් කරගත් නිලධාරියා උපන් දිනය විමසීය.
මෙම පුද්ගලයාට ඉබේටම තමන්ගේ නිවැරදි උපන් දිනය කියැවිණි. වයස හැටක් සම්පූර්ණ නොවූ පුද්ගලයකු නිසා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙත යොමු කළේය. මොහු වෙනත් වසමක පදිංචි අයෙකු බවත් මොහු රැගෙන විත් ඇත්තේ මියගිය අයෙකුගේ හැඳුනුම්පතක් බවත් ග්‍රාම නිලධාරිවරයා අනාවරණය කරගෙන ඇති අතර මෙම පුද්ගලයාට අවවාද කොට පිටත්කර යැවීය.
එන්නත් විදගැනීමට පැමිණි පුද්ගලයන් සිද්ධිය දුටු අතර කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.