උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා


වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටියදී බිරියට හසුවීමෙන් පසුව ගවයාට තණකොළ කැපීමට ආ බව කියා කොස්සක් කැඩෙනතෙක් ගුටි පූජාවක් භුක්ති විඳීමේ පුවතක් බදුල්ලට ආසන්න නගරයකින් වාර්තා වේ.
ඔහු මැදිවියේ පසුවෙන අයෙකි. ගමේ සමිති සමාගම්වල නිලතල හොබවමින් පොදු වැඩකටයුතුවල ඉතා ඕනෑකමින් වගකීමෙන් කටයුතු කරන මෙම උපාසක මහතා  ගමේ කාගෙත් හොඳ හිතා දිනාගෙන සිටියේය.
වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර ගමේ සමිතිය මරණයට කැප වූ ගවයකුට අභයදානය දීමට තීන්දු තීරණ ගත්තේය. ඒ අනුව මෙම උපාසක මහතාට ද මුදල් ආධාර එකතු කිරීමට ආධාර පත්‍රයක් ලැබිණි. 


ඔහු එය කරට අරන් වගකීමෙන් කටයුතු කරමින් මරණයට කැප වූ ගවයා අභය දානයෙන් මුදවා ගැනීමට මුදල් ආධාර එකතු කරමින් ගම වටේ යන්නට විය.
මේ අතර යාබද නිවසේ තනිව වෙසෙන කාන්තාවක උදෑසනම ‘අයියා මම කොළකැඳ හැදුවා මෙන්න අයියාත් බොන්න’ කියා කොළකැඳ කෝප්පයක් රැගෙන  නිවසට ගොඩවී යන අයුරු උපාසක මහතාගේ බිරිය ජනෙල් කවුළුවෙන්  හොරෙන් බලා සිටියාය.
කොළකැඳ කෝප්පය බී සප්පායම් වූ උපාසක මහතා ‘නෝනේ මම මේ හරකා බේරා ගන්න සල්ලි එකතු කරන්න යනවා’ කියා නිවසින් පිටි වී ගියේය.
බිරියත් කිසිත් නොකියා නිශ්ශබ්ද ව සිටියේ සැමියාගේ හොර අල්ලා ගැනීමට මාන බලමිනි.
ගවයා අභය දානයෙන් බේරා ගැනීමේ ආධාර පත්‍රයත් අතැතිව කාටත් හොරා උපාසක මහතා යාබද නිවසට රිංගා ගත්තේය. දැන් දෙදෙනා සුරසැප ලෝකයේය.
මේ අතර ආධාර මුදල් එකතු කිරීමට ගිය සැමියා ප්‍රමාද හෙයින් බිරියට සැකසිතී ඇය යාබද නිවසට ගොස් හොර රහසේ දොර කවුළුවකින් බැලීමේ දී උපාසක සැමියා අනගරැඟුමේ සිටින අයුරු දැක මරු විකලෙන් කොස්සක් රැගෙන ගොස් කොස්ස කැඩෙනතෙක් පහර දෙන්නට වූ අතර අනේ නෝනේ මම මේ හරකට කන්න දෙන්න තණකොළ ටිකක් කපන්න ආවා යැයි කියා නිවසින් පලා ගියේ අවට උදවිය ද සිනාවට පත් කරමිනි.
ඇල්ල   ප්‍රසාද් රුක්මල්