(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
දුන් අත් උදව්ව සඳහා නිවසට රැගෙන යාමට දුන් මාළු කූරියන් දෙදෙනා බෝට්ටු හිමිකරුටම විකිණීමට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබද පුවතක් දකුණේ නගරයක ධීවර වරායකින් අසන්නට ලැබේ.
ධීවර වරායට ගොඩ කරන ලද බෝට්ටුවක මාළු ගොඩට බෑමට ඔහු අත් උදව්දුන්නේය. ඒ යමක් යටි සිතේ රඳවාගෙනය. එසේ කළාම නිවසට රැගෙන යාමට මාළුකූරියකු දෙන්නකු ඒ සඳහා ලැබෙන බව දන්නා නිසාය. එය ධීවරයින් අතර සම්ප්‍රදායික ක්‍රමයකි.
මාළු බෑමට අත්උදව් දුන්නු ඔහුට නිවසට රැගෙන යාමට මාළු කූරියන් දෙදෙනෙකු ලැබුණේ එසේය. අඩියක් පුඩියක් ගැසීමට පුරුදු පුහුණුවී සිටි ඔහු ඒ සඳහා නොමිලයේ ලැබුණු මේ මාළුකූරියන් දෙදෙනා ඉතාම අඩු මිලකට විකිණීමට තීරණය කළේය. මෙවැනි අයගෙන් මාළු මිලදී ගැනීමට වරායට එන අයද නැත්තේ නොවේ. ඒ තමන්ට මේ අයගෙන් අඩු මිලට මාළු මිලදී ගැනීමට හැකිවීම එයට හේතුවකි.
මේ මාළු කූරියන් දෙදෙනා විකිණීමට එන අතරේ ජැංඩියට හැඳ පැළඳගෙන රන් අත් පළඳනාවක් හා රන් මාල දෙකක් කරට දමාගෙන මුහුණු ආවරණ හා ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යතුරු පැදියෙන් අයකු එනු බව ඔහු දුටුවේය. හොඳ දළකාරයකු වෙන්න ඇතැයි සිතූ ඔහු මේ අයට හොඳ මිලකට මේ මාළුකූරියන් දෙදෙනා විකිණීමට හැකියයිද සිතුවේය.
ඒ සිතිවිල්ලත් සමගම ඔහු යතුරු පැදිකරුට අත දමා නතර කර ගත්තේය. මහත්තයා මේ අලුත්ම මාළු වටිනා ගානකට දෙන්න යයි කීවේය. මේ වේලාවට ගොඩට ආවේ තමාගේ ධීවර යාත්‍රාව බව සිතූ යතුරු පැදිකරු මේ කාගේ බෝට්ටුවේ මාළු දැයි ඇසුවේ ඒ පිළිබඳව වැඩි දුරටත් දැන ගැනීමටය.
එවිට ඔහු මේ අසවලාගේ බෝට්ටුවේ මාළු යයි කීවිට ඒ තමාගේම බෝට්ටුවේ මාළු බව සක්සුදක්සේ දත් යතුරුපැදිකරු හිස් ආවරණය හා මුඛ ආවරණය ගලවා දැමූවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේය. ‘‘යකඩෝ මේ අපේ බෝට්ටුව අයිති මුදලාලිනේ, අනේ සමාවෙන්න මට අඳුරගන්න බැරිව ගියා. කොහේද ඉතිං මේවා දමාගෙන ඉන්න කොට කොහොමද අඳුරන්නේ’’ යයි කියමින් ඔහු එතනින් හෙමිහිට මාරුවී ගියේ නිවසට රැගෙන යාමට දුන් මසුන්වලට කරන දේ බෝට්ටු අයිතිකරුගේ අතටම හසුවූ ලජ්ජාවත් සමගමය.

