පෝද්දල සරත් ආනන්ද ගමගේ
නිවසකට උගුඩුවෙක් ඇතුළුවී කළ කලබලයකින් අවදිවූ කාන්තාවක හොරෙකු පැන ඇතැයි කෑගැසීම නිසා ගමක්ම හෙල්ලුනු සිද්ධියක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
අතුරු මාර්ගයක් කෙළවර පිහිටි නිවසකි. විශ්‍රාමිකයෙක් ඔහුගේ බිරිය හා උසස් අධ්‍යාපනය හදාරන දියණියක් එහි වෙසෙති. විශ්‍රාම වැටුපත් කොස් පොල් සහිත වතුපිටිවල ආදායමත් හේතුවෙන් හිඟ පාඩුවක් නැතුව ඔවුහු දිවිය ගැටගහ ගනිති.
ඉඳහිට පොඩියට සප්පායම් වන ගෙහිමියා මධ්‍යම රාත්‍රිය පහුවන තුරුම රූපවාහිනී සංවාද නැරඹීම පුරුද්දක් කර ගත්තෙකි. ගෙයි සියලු දොර ජනෙල් බිරිඳ විසින් වසා තැබෙන අතර රූපවාහිනියේ සංවාදය නිමාවූ පසු ඉදිරිපස දොර වසා නින්දට යාම නිවසේ දින චරියාව වී තිබුණි. මෙදිනද හීනියට සළුවී සිටි මොහු රූපවාහිනිය නරඹමින් සිටියදී බිරිඳ හා දියණිය නින්දට ගොස් ඇත.
පාන්දර යාමයේදී මුළුතැන්ගේ පැත්තෙන් ඇසුණු සද්දයකින් පිබිදුණු ගෙහිමි කාන්තාව ඊට සවන් යොමුකර ඇත. ඇසෙන සද්දය නතර නොවන බැවින් කාමරයේ දොර හැරගෙන කුස්සියට පැමිණ එහි බල්බය දැල්වීමට සුවිචයට අත තියනවාත් සමග කවුරුන් හෝ ඇගේ කකුලෙත් වැදීගෙන ඉදිරිපසට දුවගෙන ගොස් ඇත.
මහත්සේ බියටපත් ඈ කුස්සියෙන් මෑත්වී සාලයට පැමිණ එහි බල්බය දල්වා ඇත. ඉදිරිපස ප්‍රධාන දොර ඇර තිබෙනු දුටු ඈ හොරෙක් පැන ඇතැයි කියා සැකයෙන් කෑගසා ඇත. සැමියාත් දියණියත් අවදිවී විපරම් කරනවිටම අසල්වැසි නිවෙස් දෙකේ ගෙහිමියෝද මොකද? මොකදැයි අසමින් එම නිවසට පැමිණ ඇත. අසල්වැසි නිවෙස්වල ඇත්තන්ද දුරකතන මගින් එකිනෙකාගෙන් විමසමින් මේ නිවසට රොක්වී ඇත.
ගෙහිමියන්ගේ හා පැමිණි පිරිසගේ විමර්ශනයෙන් හොරෙකු පැමිණ නැති බවත් පැමිණ ඇත්තේ උගුඩුවෙකු බවත් තහවුරුවී ඇත. ඊට සාක්කි වශයෙන් මදය නැති ගස්ලබු ගෙඩියක්ද ලෙලි පමණක් ඉතිරි කෙසෙල් ඇවරියක්ද සොයාගෙන ඇත. හීනියට සප්පායම්වී රූපවාහිනිය නරඹමින් සිටි ගෙහිමියා දොර ඇරදමා තිබියදීම නින්දට ගොස් ඇති බවද තහවුරුවී ඇත. කෙසෙල් සුවඳට ඉව වැටී හැරදමා තිබුණු දොරෙන් ඇතුළුවී ඒවා බුක්ති වින්ද උගුඩුවා සොරෙකුවී ඇත්තේ එසේය.