ඉතිරි සල්ලි නොදුන්නාට මගියා කොන්දොස්තරගේ කණෙන් රිංගලා


එය ඉංගිරිය නගරයේ සිට ගමන් ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථයකි. යාබද අසුනේ සිටි තැනැත්තා කොන්දොස්තරට රුපියල් 20ක නෝට්ටුවක් දිගු කළේය. ගමන් ගාස්තුව රුපියල් 16කි. මගියාට ඉතිරි රුපියල් 4 දීම කොන්දොස්තරට ඇඟෙන් ඇටයක් දීමටත් වඩා අසීරු කාර්යයක් බව පෙනුණි. කාර්යබහුල බවක් බොරුවට මවා පාමින් හැසිරෙන කොන්දොස්තරගෙන් තම ඉතිරි මුදල ලැබෙන පාටක් නොමැති බව දුටු මගියා ඔහුගේ අතට තට්ටුවත් දැමීය. ‘‘මගේ ඉතුරු?.....’’ ඔහු ප‍්‍රශ්න කළේය. ‘‘කීයක්ද මහත්තයා දුන්නේ......කෙහෙන්ද බහින්නේ....’’ දැනට තත්පර කීපයකට පෙර තමන් මුදල් ගත් මගියාගේ ගමනාන්තය අමතක බව බොරුවට රඟ දක්වමින් හැසිරුණු කොන්දොස්තරගේ ප‍්‍රශ්නවැලට මගියාද මුවින් නොබැණ ඉවසමින් පිළිතුරු දුන්නේය. ‘‘මට මහත්තයා රුපියලක් දෙන්න මම එතකොට පහක් දෙන්නම්’’ කලිසම් කමිස සාක්කු පතුලේ පීරා සෙවුවද රුපියලක් සොයා ගැනීමට මගියාට නොහැකි විය. ඔහුට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ අතරය. ‘‘ආ...... කෝ දෙන්නකෝ පහ. මම රුපියලක් දෙන්නම්’’ කී ඔහු කොන්දොස්තරගෙන් රුපියල් පහක් ඉල්ලා ගත්තේය. ‘‘කෝ, මහත්තයා රුපියල?’’ කොන්දොස්තර ඇසුවේ තමන්ට දෙනවා යැයි කී රුපියල ලැබෙන පාටක් නොදුටු බැවිනි. ‘‘රුපියල......? රුපියලද.....? ඔහේ  ඕක මට නුදුන්න නම් මම රුපියල් 4ක්ම පාඩු විඳින්න  ඕනෑ. දැන් මේ වැඩෙන් ඔහේට පාඩු රුපියලනේ. දැන් මං ළඟ දෙන්න රුපියලක් නෑ. මම බහින්න කලින් මට රුපියල් 4ක් දෙනවා. එතකොට මම මේ පහ දෙන්නම්’’ වෙඩි බෙහෙත් පුපුරනවා වැනි හඬින් මගියා දුන් පිළිතුරට කොන්දොස්තරට ප‍්‍රති උත්තර නොමැති විය. ‘‘හොඳ වැඬේ, ඔහොම කරලා මදි, නියමයි......’’ වැනි වදන් බස් රියේ තැන් කීපයකින්ම ඇසෙද්දී, මගියා ඉල්ලූ ලෙස දීමට රුපියල් හතරක් අතේ තිබුණ මුත් ඔහුට රුපියල් පහම තියා ගන්නට ඉඩහැරි කොන්දොස්තර හීන් සීරුවේ එතනින් ඉදිරියට ගියේය.