ඇහිලූ ලක්ෂ දෙක අයිතිකරුට දීලා


දෙනියාය විශේෂ එස්.ඩී. කොඩිකාර
ටින් මාළු ව්‍යාපාරිකයකු බැංකු ගත කිරීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ පහක මුදලෙන් ලක්ෂ  දෙකක්  ඔහු අතින් මහ මග වැටීමෙන් පසු එය අහුලා නැවත සුරක්ෂිතව  ව්‍යාපාරිකයාට  ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනකු පිළිබඳ පුවතක් ඉකුත් 13 වැනිදා රාත්‍රි  දෙනියාය පොලීසියෙන් වාර්තා විය.


මෙම සත්  ක්‍රියාව සිදුකර තිබුණේ දෙනියාය පොලීසියට අනුයුක්තව සේවය කරන රථ වාහන අංශයේ  කොස්තාපල් 75924   ජයතිලක සහ කොස්තාපල් 29386 මල්වත්ත යන නිලධාරින් දෙදෙනා බව දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.


මේ සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයේ  ටින් මාළු ව්‍යාපාරික ඒ.පී. ගරුසිංහ මහතා  මෙසේ කීය. 


අපි ව්‍යාපාර කටයුතු කරලා වෙළෙඳසල් වලින් ලැබුණු මුදල් රුපියල් ලක්ෂ 05 ක් දෙනියායේ බැංකුවක තැන්පත් කිරීමට    ගියා. පස්සෙ මුදල් තැන්පත් කරන්න ලොරියෙන් බැස යන විට තමයි රබර් බෑන්ඩ් දාපු  ලක්ෂ 02 ක්  ඔඩක්කුවෙ තිබිල බිම වැටී තිබුණේ. එතකොට වෙලාව රාත්‍රි 7.20 විතර වෙලා.


රුපියල් ලක්ෂ තුනක්  තැන්පත් කරල අවසන් වුණාම තමයි ලක්ෂ 02 ක් අඩුයි කියලා දැනුණේ. ඊට පස්සෙ කලබලෙන් මුදල් තැන්පත් කරන කුටියෙන් එළියට එනකොට අතේ සල්ලි මිටි දෙකක් තියාගෙන ඉන්න පොලිසියේ මහත්වරු දෙදෙනෙක් ලොරිය ගාව ඉන්නව දැක්කා. ඊට පස්සෙ අපෙන් විස්තර ඇහුව මොනව ද සොයන්නෙ කියලා. අපි කිව්වා අපේ ලක්ෂ 02 ක මුදලක් නැති වෙලා. ඉතිං අපිට ඒ මහත්වරුන් කිව්වා සල්ලි අපි බිම වැටිලා තිබිලා අහුල ගත්තා. එන්න පොලීසියට ස්ථානාධිපතිතුමා සමග සාකච්ඡා කරල මුදල් නැවත ලබා දෙන්නම් කිව්වා.


අපට හිතා ගන්නවත් බෑ අද වගේ කාලෙක මේ මුදල් අපට නැවත ලැබුණ එක ගැන. මේ වගේ මනුස්ස කම තියන හදවත උණුවෙන  නිලධාරින් නිසා තමයි අපට මේ මුදල් නැවත ලැබුණේ. අනේක වාරයක් ස්ථානාධිපතිතුමා ඇතුළු මේ නිලධාරින්  දෙදෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.


මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසූයේ මේ නිලධාරින් දෙදෙනා පොලිස් දෙපාර්තුමේන්තුවටම ගෞරවයක් සිදු කර ඇති බවයි.